ඩුබායි සිට පැමිණි කතකට හා බිලිඳාට මන්කි ෆොක්ස්

ඩුබායි සිට පැමිණි කතකට හා බිලිඳාට මන්කි ෆොක්ස්
ඩුබායි සිට මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවකට සහ කුඩා බිලි‌ෙඳකුට මන්කි පොක්ස් (වඳුරු උණ) රෝගය වැළඳී ඇති බවට තහවුරුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසයි.
 
ආසාදිතයන් දෙදෙනා මේවන විට අයි.ඩී.එච්. රෝහලට ඇතුළු කර ඇති අතර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් මේ වන විට සොයා බැලීමක් සිදු කරන බවත්, මහජනතාව මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.
 
මන්කි පොක්ස් රෝගය කොවිඩ් රෝගය මෙන් ඉක්මනින් බෝ වන රෝගයක් නොවන බවත්, වෙනත් පුද්ගලයන්ට බෝ නොවීම සඳහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙන ඇති බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.
 
මන්කි පොක්ස් වයිරසය ශරීරගතව දින 7ත් - 21ත් අතර කාලයකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර  උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යයාව, ඇඟපත වේදනාව, තද හිසරදය, කුද්දටි ඉදිමීම, සැරව සහිත බිබිලි අත්පයවල සහ ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව ඇති වීම යනාදිය මේ වයිරසයේ රෝග ලක්ෂණ වේ.
 
 රට තුළ කිසියම් සැක සහිත පුද්ගලයකු සිටින්නේ නම් අදාළ පුද්ගලයා මන්කි පොක්ස් ආසාදිතයකු ද යන්න හඳුනා ගැනීම සඳහා අවශ්‍ය සියලු පරීක්ෂණ පහසුකම් වෛද්‍ය පර්යේෂණායතනය සතුව පවතියි.
 
මන්කි පොක්ස් ආසාදිතයන් ලෝකයේ රටවල් 109ක සිටින බවට වාර්තා වන අතර  ගෝලීය රෝගයක් ලෙස හඳුනාගෙන ඇති මේ වයිරස් රෝගය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ද පැමිණිය හැකි අතර, වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතුය.