කටාරයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න

කටාරයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න
රැකියාවකට අවස්ථාව හිමි වන ලිපිය ( Job Offer Letter ) හෝ රැකියා ගිවිසුම් ලිපිය ( Job Contract ) නොමැතිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් , එහිදී රැකියා සොයා ගැනීමට නොහැකි වී ,මාස දෙකක කාලයක් එරට රැඳී සිට , තමන්ගේ වියදමින්ම ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට සිදුවී තිබේ..
 
මේ පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා මෙම ලිපි දෙකෙන් එකක් හෝ තිබීම අත්‍යාවශ්‍ය වන නමුත්, ඒ් බව නොසළකා මොවුන් දෙදෙනා විදේශගතව ඇති බව වාර්තා වේ.
 
මොවුන් දෙදෙනාම නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු වන අතර මොවුන් කටාර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික රැකියා තැරැව්කරුවෙකු සමඟ දුරකථන මගින් සම්බන්ධ වෙමින් එක් අයෙකු විසින් රුපියල් ලක්ෂ 05 බැගින් ගෙවීමෙන් පසුව ඉකුත් ජූනි මස 17 දින එරට රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. 
 
එහිදී ඔවුන්ට වසර 05 ක කාලයක් සඳහා එරට රැදී සිටිමින් රැකියා වල නිරත වීමට අවශ්‍ය වීසා බලපත්‍ර ඇති බව එම තැරැව්කරුවා ප්‍රකාශ කර තිබුණු බව, ඔවුන් පවසා ඇත. 
 
එහෙත් කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළේ දී, එරට ආගමන විගමන නිලධාරීන් මොවුන් දෙදෙනාට ලබා දී ඇත්තේ දින 90 ක කාලයක් එරට රැඳී සිටීම සඳහා අවශ්‍ය සංචාරක වීසා බලපත්‍රය පමණයි.
 
එබැවින් මෙම තරුණයන් දෙදෙනා මාස දෙකක කාලයක් කටාර් රාජ්‍යයේ රැඳීසිටිය ද, රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර , පසුව ඔවුන්ගේ වියදමෙන් මෙලෙස ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ. 
 

මෙම තරුණයන් නැවතී සිටි නේවාසිකාගාරයේ තවත් මේ ආකාරයට , රැකියා නොමැතිව , ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින තවත් ශ්‍රී ලාංකික තරුණයන් 11 දෙනෙකු සිටින බව ද, මෙම සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන ආගමන විගමන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ , තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්‍රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.