විදේශ රැකියා වංචා කරන්නන්ගෙන් මහජනයා බේරාගැනීමට කාර්යාංශය සිදුකරන මෙහෙයුම් නොනවත්වා, 2023 වසරේදී මෙතෙක් ලද පැමිණිලි සංඛ්‍යාව 2019ක්

විදේශ රැකියා වංචා කරන්නන්ගෙන් මහජනයා බේරාගැනීමට කාර්යාංශය සිදුකරන මෙහෙයුම් නොනවත්වා, 2023 වසරේදී මෙතෙක් ලද පැමිණිලි සංඛ්‍යාව 2019ක්

2023 වසරේ ගතවූ මාස 8 කාලය තුළ විදේශ රැකියා ජාවාරම් හා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් සම්බන්ධ පැමිණිලි 2019ක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ වන විට ලැබී තිබෙන අතර, අදාළ කාලය තුළ එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව පැමිණිලි 669කට විසඳුම් ලෙස අදාළ වින්දිතයින්ට රු.8,821,000.00 ක මුදලක් යළි අයකර දීමට කාර්යාංශයට හැකිවී තිබේ.

කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිතායතනයක් හා නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගිය රැකියා නියෝජිතායතන 08ක් මෙම කාලය තුළදී වැටලීම් කර තිබේ. එසේම විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ බලපත්‍රලාභීන් 10 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකරගැනීම යන චෝදනාව යටතේ පුද්ගලයින් 85 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇත.

ඒඅනුව සංචාරක වීසා මගින් කාන්තාවක් ඕමාන් රටේ රැකියා සඳහා යැවීමට උත්සහ කළ පුද්ගලයෙකු අගෝස්තු මස 19 වන දින කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එසේම වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමාන් රාජ්‍යයේ රැකියාවක් සදහා කාන්තාවක් යැවීමට තැත්කළ දෙවනගල ප්‍රදේශයේ පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල් අක්සා වර්ල්ඩ් සොලියුෂන්ස් නමින් රාජගිරිය ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් කාර්යාංශ නිළධාරීන් විසින් 2023.08.21 වන දින වැටලීම් කරන ලදී. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 42ක්, අයදුම්පත්‍ර ගොනුවක් හා වීසා ගොනුවක් ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එම ආයතනයේ හිමිකරු සූක්ෂමව කාර්යාංශය වෙත කැඳවා අත්අඩංගුවට ගත් අතර, කොළඹ අංක 5 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත්, ඔක්තෝම්බර් මස 25 වන දින නඩුව යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින මෙවන් අවධියක විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීම සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම සෑම ශ්‍රි ලාංකිකයෙකුගේම වගකීම වන අතර, තමා විදේශ ගතවීමට අපේක්ෂිත රටෙහි නියමිත රැකියා සඳහා පවතින අවස්ථා පිළිබඳව පූර්ව තොරතුරු කාර්යාංශය වෙතින් ලබාගැනීමත්, ඒ සඳහා කාර්යාංශ වෙබ් අඩවිය www.slbfe.lk  හා 1989 අංකයෙන් කාර්යාංශයේ 24 පැය තොරතුරු මැදිරිය ඇමතීම මගින් තොරතුරු ලබාගැනීම සිදුකළ යුතුවේ.

ඊට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන ආයතනය වශයෙන් මහජනයා වෙත පිළිගත හැකි හා හදුනාගත හැකි විදේශ රැකියා ආයතන වශයෙන් කාර්යාංශ නීතිරීති හා අණපනත් සදහා අනුකූලව කටයුතු කරන ලියාපදිංචි ආයතන මේ වන විට පවතින බැවින් සෑම විදේශ රැකියා අපේක්ෂකයෙකු සඳහාම නිවැරදිව විදේශ රැකියා ලබාදීම ඔවුන්ගේ වගකීම වන බැවින් ඒ සඳහා එම ආයතන කටයුතු කරන ආකාරය ගැන කාර්යාංශය විසින් විශේෂ අවධානය යොමුකරනු ලබයි. එහි ප්‍රතිපලයක් ලෙස බලපත්‍ර පැවතියද යම් නියෝජිතායතනයක් නීතිවිරෝධි හෝ කාර්යාංශ පනත උල්ලංඝණය කිරීම සිදුකරයි නම් තරාතිරම නොබලා එම ආයතන හා විදේශ රැකියා ජාවාරම්වල නියැලෙන තැනැත්තන් නීතිය ඉදිරියට රැගෙන ගොස් ඒ සඳහා පවතින ප්‍රතිපාදනවලට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් කාර්යාංශය නිරතුරුවම නොපැකිලව සිදුකරනු ලබයි.