සංචාරක වීසාවලින් විදේශ රැකියා සඳහා පිටත්වෙන්න එපා!

සංචාරක වීසාවලින් විදේශ රැකියා සඳහා පිටත්වෙන්න එපා!
 සංචාරක වීසා මගින් ඕමානයේ පෙදරේරුවෙකු වශයෙන් රැකියාව සඳහා ගිය ශ්රි ලාංකිකයෙකු අමානුෂික වද හිංසාවලට හා ලිංගික හිංසනයන්ට ලක් කිරීම හේතුවෙන් ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වී ශ්රි ලංකාවට එවීමට කටයුතු කර තිබේ.
 
මෙම හිංසනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව කඩිනමින් ක්රියාත්මක වූ කාර්යාංශ නිළධාරීන් ඕමාන් තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන අතර, ඒ අනුව එහිදී අවශ්ය ප්රතිකාර ලබාදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා 2023.09.07 දින දිවයිනට ගෙන්වාගෙන වැඩිදුර ප්රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී.
 
කාර්යාංශයට ලද පැමිණිල්ලට අනුව සංචාරක වීසා මගින් මෙම පුද්ගලයා රැකියාව සඳහා ඕමානයට යැවූ මතුගම නවුත්තුඩුව ප්රදේශයේ පදිංචි නිශ්ශංක ගුණරත්න නම් අයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.09.06 දින රාත්රියේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක වීසා මගින් රැකියා සඳහා පුද්ගලයින් යැවීමට මෙම සැකකරු රු.750,000.00 බැගින් මුදල් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු 2023.09.07 දින මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කරන ලදී.
 
සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුවීම නිතිවිරෝධි වන හෙයින් එවැනි පුද්ගලයින්ට කාර්යාංශයේ කිසිඳු වගකීමක් නොදරයි. නමුත් මානුෂිය පදනමින් සලසා බලා මේ සඳහා කාර්යාංශය මැදිහත් වී එම තැනැත්තා දිවයිනට එවීමට කටයුතු කරන ලදී.
 

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීම නීතිවිරෝධී වන අතර, රැකියාවක් සඳහා විදේශ ගතවීමේදී ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවීම අනිවාර්ය වේ. විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

මූලාශ්‍රය - SLBFE නිල ෆෙස් බුක් පිටුව