විදේශ රැකියා ලබාදීම සඳහා නීතිවිරෝධිව මුදල් අය කළ කාන්තාවක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදීම සඳහා නීතිවිරෝධිව මුදල් අය කළ කාන්තාවක් අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව රුමේනියාවේ හා ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් කාන්තාවක් කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2023.09.18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විදේශ රැකියා නියෝජිතායතනයක සේවය කරමින් රුමේනියාවේ රැකියාවක් ලබාදීමට රු.900,000.00 ක් හා ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා රු.150,000.00 බැගින් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පෞද්ගලිකව මුදල් ලබාගෙන ඇත. පොරොන්දු වූ පරිදි විදේශ රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් දෙදෙනා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, පැමිණිලි විභාග කිරිම සඳහා කැඳවූ අවස්ථාවේදී නිරෝෂනි ලංකා දිල්රුක්ෂි නම් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය (2023.09.19) දින කොළඹ අංක 05 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් පැමිණිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් බැගින් නඩු 2 සඳහාම රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප 2ක් දඩුවම් වශයෙන් නියම කරන ලදී. මෙය ඉතිහාසයේ වැඩිම වටිනාකමකින් නියම කරන ලද ශරීර ඇප මුදල් වේ. මෙහි ඉදිරි නඩු දිනය 2023.12.06 දින කැඳවීමට නියමිතයි.

මෙම ජාවාරම සඳහා ඇයට සහය වූ තවත් අයෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන මෙහෙයවයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.