විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවයි

විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකළ විදේශ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් සහිතව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයකට එරෙහිව කාර්යාංශය වෙත ලද පැමිණිලි හේතුවෙන් එම ආයතනයේ බලපත්‍රය අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රවිඳු මෑන් පවර් නම් අදාල ආයතනයේ හිමිකාරිය විසින් වලංගු රැකියා ඇණවුමක් ලබාගැනීමකින් තොරව රුමේනියාවේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් රු.900,000.00 ක් හා රු.150,000.00 වශයෙන් මුදල් අය කර තිබේ. මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට අදාල පුද්ගලයින් විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට උබයනාරායන චාන්දනී නම් අදාල ආයතනයේ බලපත්‍රලාභිනිය ඊයේ දින (2023.09.19) කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අදාල සැකකාරිය (2023.09.20) දින කොළඹ අංක 05 අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

අදාල ආයතනයට විරුද්ධව කාර්යාංශය වෙත පැමිණිලි 57ක් ලැබී ඇති අතර, මේ වන විට එම ආයතනයේ බලපත්‍රය අත්හිටුවිමටද කාර්යාංශය පියවර ගෙන ඇත.  එහි සේවය කළ කාන්තාවක්ද විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගැනීම හේතුවෙන් කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ දින (2023.09.19) අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.