ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි

ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම (2023.09.19) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 84 වන කණ්ඩායම වන අතර, ඔවුන් 2023.09.20 වන හෙට දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එම කණ්ඩායමට කාන්තාවන් 18 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 3 කු අයත් වේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 590 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ.‍

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.