ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවයි

ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවයි

පවතින යුධමය වාතාවරණය හමුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි සියළු පියවර ගන්නා බවත්, යළි දිවයිනට පැමිණීමට කැමැත්තක් දක්වන ශ්‍රි ලාංකිකයින් හට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම මේ වන විට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යොමුකිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. (2023.10.11) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

“රටක් විදිහට ඊශ්‍රායලය මුහුණදීලා තියෙන තත්ත්වයට අපි කණගාටුව පළකරනවා. අපේ ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලබාගන්න whatsapp අංකයක් හඳුන්වාදීලා තියෙනවා. ඕනෑම අවස්ථාවක පැමිණෙන්න තානාපති කාර්යාලය විවෘත කරලා තියෙනවා. ඊශ්‍රායලයේ සේවය කරන අයට යළි පැමිණෙන්න අවශ්‍ය නම් ඒ සඳහාත් අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊශ්‍රායලයේ ගුවන් තොටුපොල ආශ්‍රිත ප්‍රදේශවල ගැටළු නෑ. ඒක නිසා ඕනෑම කෙනෙක්ට එන්න අවස්ථාව තියෙනවා.

ඒ වගේම මේ වෙනකොට ඊශ්‍රායලයට යන්න සූදානම් කරලා තියෙන අයව ඔවුන් සමග කතාකරලා තාවකාලිකව නතර කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ඊශ්‍රායල් තානාපති කාර්යාලය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය කියන ආයතන 4ම එකතු වෙලා මේ දවස්වල ඒ කටයුතු සම්බන්ධීකරණය කරගෙන යනවා. අපේ රටේ දෙදෙනෙක් පිළිබඳව කණගාටුදායක තොරතුරු ලැබෙමින් පවතිනවා. ඒ අයගේ පවුල්වලට අපි කණගාටුව පළකර සිටිනවා. ඒ වගේම යළිත් එවන් දේවල් නොවෙන්න අවශ්‍ය කටයුතු අපි සිදුකරනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න අපි ඊශ්‍රායල් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයත් අපිට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදෙනවා.

යුධමය වාතාවරණයක් තුළ ලැබෙන තොරතුරු නිසා අපිට ලැබෙන තොරතුරු තවමත් නිසිපරිදි තහවුරු කරගන්න බැරිවෙලා තියෙනවා. නිශ්චිතවම සනාථ කරලා අපිට තොරතුරු ලබාදෙන්න පුළුවන් කමක් නෑ.

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි රජයන් දෙක එකතු වෙලා මේ වෙනකොට කටයුතු කරනවා. ආරක්ෂිත ස්ථානයකට සියළු ශ්‍රි ලාංකිකයින් රැස් කර ගන්න අපි රතු කුරුස සමාජය සමග සාකච්ඡා කළා. ඊශ්‍රායලයෙන් අපිට ලැබෙන තොරතුරු අනුව නම් දැන් බිය විය යුතු තත්ත්වයක් නෑ කියලා තමයි කියන්නේ. අපේ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් සහතික වෙනවා.”