මහත්තයා ඊශ්‍රායලයට ගියේ පවුලේ අගහිඟකම් තිබුණ නිසයි – ගෙදරට කෝල් කරද්දී බිහිසුණු සද්දයක් ඇසුණා

මහත්තයා ඊශ්‍රායලයට ගියේ පවුලේ අගහිඟකම් තිබුණ නිසයි – ගෙදරට කෝල් කරද්දී බිහිසුණු සද්දයක් ඇසුණා
  • යුද ගැටුම් මැද අතුරුදන්වූ වෙන්නප්පුවේ දෙදරු පියාගේ බිරිඳ කියන දුක්බර කතාව
  • දරුවෝ දෙන්නටත් මටත් විශ්වාසයි මහත්තයා ආපසු එයි කියලා

හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් අතුරුදන්ව සිටින තම ස්වාමිපුරුෂයා සම්බන්ධව තොරතුරක් ලබාදෙන මෙන් එරට තානාපතිවරයාගෙන් ඇතුළු අදාළ බලධාරීන්ගෙන් අතුරුදන්ව සිටින අයගේ බිරිඳ වන ජයනා මධුවන්ති ඉල්ලා සිටින්නීය.

මහත්තයා ඊශ්‍රායලයට ගියේ පවුලේ අගහිඟකම් තිබුණ නිසයි - ගෙදරට කෝල් කරද්දී බිහිසුණු සද්දයක් ඇසුණා…

වෙන්නප්පුව, කොලොන්ජාඩිය ප්‍රදේශයේ පදිංචි පණ්ඩිත වාසල මුදියන්සේලාගේ සුජිත් නිශ්ශංක බණ්ඩාර යටවර නමැති අය මෙසේ අතුරුදන් වී තිබේ.

සුජිත් බණ්ඩාර යටවර දෙදරු පියෙකි. වයස අවුරුදු 13 ක දියණියක් හා වයස අවුරුදු 8ක පුතෙකු සිටින ඔහුගේ උපන් ගම මැදිරිගිරිය ප්‍රදේශයේය. සිය අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු රැකියා කිහිපයක නිරත වූ ඔහු මීට වසර 17 කට පමණ පෙර ඩුබායි රටේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් තිබේ.

එහි සේවය කරමින් සිටින අතරතුරදී එරටදී වෙන්නප්පුවේ පදිංචි ජයනා මධුවන්ති හමුවී ඔවුන් අතර ඇතිවූ ඇසුර දුරදිග ගොස් දෙදෙනා ලංකාවට පැමිණ එක වහළක් යට ජීවත් වීමට කටයුතු කර තිබේ. අනතුරුව සිය බිරිඳගේ මහගෙදර ජීවත් වූ මෙම යුවළ තමන්ටම කියා නිවසක් තනා ගැනීමට හා දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු යහමින් පවත්වාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ අරමුණින් සුජිත් නිශ්ශංක බිරිඳගේ සහ පවුලේ ආශිර්වාද මධ්‍යයේ ඊශ්‍රායලය බලා පිටත්ව යන්නේ මීට වසර 8 කට පමණ පෙරය. ඒ 2015 වේ දීය. පසුව එරට සේවයේ යෙදෙමින් ඔහු ඉකුත් 2018 වසරේ ජූනි මාසයේ ලංකාවට පැමිණ මාසයක් පමණ රැඳී සිට නැවත ඔහු ආපසු ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත.

බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා මේ වනවිට සිටින්නේ අවිනිශ්චිත සිතුවිලි සිත් තුළ දරාගෙනය. ජයනා මධුවන්ති කිසිත් කර කියාගත නොහැකිව සුජිත් නිශ්ශංකගේ ඡායාරූප සහිත ඇල්බමය පෙරළමින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ දෙකම්මුල්වලින් ගලා හැලෙන කඳුළු බිදු පිසදමමින්ය.

“අපි දෙන්නා ගොඩාක් බලාපොරොත්තු පොදි බැඳගෙන තමයි ඩුබායි ඉඳල ආවෙ. විවාහවෙලා කාලයක් ගතවුණාට පස්සෙ පවුලේ අගහිඟකම් සපුරා ගැනීමට තමයි මහත්තය රට ගියේ. විශේෂයෙන් අවශ්‍ය වුණේ ළමයි දෙන්නට හොඳට උගන්වන්න. අපිටම කියල ගෙයක අවශ්‍යතාවත් තිබුණා.

ඒ නිසා මම වෙන්නප්පුව නගරේ පෞද්ගලික ඉංග්‍රීසි පාසලකට දරු දෙන්නා යොමුකළා. ඒ දෙන්නත් ආසාවෙන් හොඳින් ඉගෙන ගන්නවා. පස්සේ අපිටම කියලා නිවහනක බලාපොරොත්තුවක් තිබූ නිසා වෙන්නප්පුව කොලොන්ජාඩිය ප්‍රදේශයෙන් නිවසක් ගත්තා. මට හරි දුකයි එයා තාම මේ ගෙට ඇවිල්ලත් නෑ. එයා වීඩියෝ කෝල්වලින් තමයි ගෙදර බලන්නේ. සිද්ධිය වුණු දවසේ එයා මට කෝල් කර කර හිටියේ. ටික වේලාවකින් අන්තවාදීන්ගේ ප්‍රහාරයේ කිසියම් බිහිසුණු සද්දයක් ඇසුණා. ඊට පස්සේ එයා වෙඩි සද්දේ කියලා කිව්වා. මං කිව්වා පරිස්සම් වෙන්න කියලා. ඒ කියලා තත්ත්පර ගානක් ගියේ නෑ… එයාගේ දුරකතන සම්බන්ධතාව ගිලිහිලා ගියා. මට හිතා ගන්න බෑ මොනාද වුණේ කියල.

ටීවී එකෙන් දැක්කට පස්සේ තමයි යුද්දෙ බරපතළ කම දැණුනේ.

මට විශ්වාසයක් තියෙනව එයා මට හම්බ වෙයි කියලා. මං බලන් ඉන්නවා මගෙ මහත්තය එනකම්. මගේ පුතාලා නිතරම අහනවා තාත්තට මොකද වුණේ කියලා. දුව ටිකක් අසනීපෙන් ඉන්නේ… මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොහොම හරි මගේ මහත්තයාව, මේ ළමයින්ගෙ තාත්ත ඉන්න තැනක් ගැන තොරතුරක් ලබා දෙන්න කියලා. ඒ අයට පින් අයිති වෙනවා ඉක්මනින් අපේ හිත් සැනසුවොත්.”

(දිවයින)