විදෙස් රැකියාවට මුදල් ගැරූ ජාවාරම්කරු කොටු කර ගනියි

විදෙස් රැකියාවට මුදල් ගැරූ ජාවාරම්කරු කොටු කර ගනියි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් (2024.01.05) දින අත්අඩංගුවට ගන්නා ලදී.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදීම සඳහා ගාල්ල, බූස්ස හා වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙකුගෙන් සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන තිබේ. ඊශ්‍රායල් රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබානොදෙන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිදුකළ ප්‍රකාශ අනුව මොහු පිළිබඳව සැක සිතූ එම තරුණයින් දෙදෙනා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාල පුද්ගලයා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් වේ නම් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙරට අතර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකරන අතර, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.