රියාද්හි අසරණව සිටි රසින්ත ලියනාරච්චි මව්බිමට

රියාද්හි අසරණව සිටි රසින්ත ලියනාරච්චි මව්බිමට

සෞදි අරාබියේ සේවයේ නිරතව සිටියදී අනතුරකට ලක්ව එක්තැන්ව සිටි රසින්ත ලියනාරච්චි මහතා ඊයේ (16) උදෑසන දිවයිනට රැගෙන විත් ඇති බව වාර්තා වේ.

ඊයේ උදෑසන 6.10ට පමණ සෞදියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානයකින් ඔහුව මෙරටට රැගෙන ආ බව ගුවන්තොටුපළ වාර්තාකරු පවසයි.

එහිදී ගිලන්රථයක් ගුවන් යානය සමීපයට ගොස් රසින්තව රැගෙන ඒමට කටයුතු කළ අතර, ඔහුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත මීගමුව මහ රෝහලට වෙත රැගෙන ගිය බව කියැවේ.

ඔහුව ගිලන්රථයක් මඟින් රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ දී පුංචි දියණිය සහ බිරිඳ හමුවු අවස්ථාව බෙහෙවින් සංවේදී අවස්ථාවක් වී ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සේවය කරන ස්ථානයේ දී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් රසින්ත එරට රෝහලක හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට තිබෙන අතර, මාස 03ට අධික කාලයක් ඔහු ප්‍රතිකාර ලබා තිබේ. 

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව රසින්තව සේවය කළ ආයතනයේ ස්ථානයක තවදුරටත් නවාතැන් පහසුකම් සපයා ගනිමින් ඇඳක් මත තබා තිබුණි.

ඔහු දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්ව සිටීම හේතුවෙන් ඔහුගේ බිරිඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුකළ ඉල්ලීමක් මත අද දින රසින්තව මෙලෙස දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.