විපතේදී අත් නොහල මිනිසත්කම

විපතේදී අත් නොහල මිනිසත්කම

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සිදුවූ අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් විගමණික සේවක මහත්මයෙකු වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පහසුකම් රැසක් සලසා තිබේ.

අනුරාධපුර, යහලේගම පදිංචි දෙදරු පියෙකු වන සුනෙත් කුමාරසිංහ මහතා 2016 වසරේ බර වාහන රියදුරෙකු වශයෙන් සේවය සඳහා සෞදි අරාබිය වෙත ගොස් තිබේ. සේවය කරන අතරතුරදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහු පූර්ණ ආබාධිත තත්වයට පත්ව ඇති අතර, 2018 වර්ෂය දක්වා ඔහු රියාද්හි රෝහලක ප්‍රතිකාර ලබාගෙන තිබේ.

පසුව කාර්යාංශයේ මැදිහත්වීම මත විශේෂිත පහසුකම් සහිත ගුවන් යානයක් මගින් සුනෙත් මහතා දිවයිනට ගෙන්වාගත් අතර, දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාස 4ක කාලයක් අනුරාධපුර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගන්නා ලදී. සුනෙත් මහතා සේවය කළ ස්ථානයෙන්ද වන්දි මුදලක් ඔහු වෙත ලැබී ඇති අතර, ඔහුගේ පාසල් අධ්‍යාපනය ලබන දියණියන් දෙදෙනා වෙනුවෙන් පාසල් උපකරණ කට්ටලද කාර්යාංශය මගින් ලබාදී තිබේ.

එතකුදු නොනැවති සුනෙත් මහතාගේ බිරිඳට ස්වයං රැකියාවක් වශයෙන් රෙදි මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරිම සඳහා රුපියල් 130,000ක් වටිනා මහන මැෂිමක්ද පසුගියදා අනුරාධපුරදී පැවති ජයගමු ශ්‍රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව කාර්යාංශය මගින් පිරිනමන ලදී. එසේම තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන සුනෙත් මහතාට විශේෂිත ගිලන් ඇඳක් පිරිනැමීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

රැකියා සඳහා විදේශ ගතවන සියළු දෙනා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීම අනිවාර්ය වන අතර, එසේ ලියාපදිංචිවීමේදී නොමිලේ හිමිවන රක්ෂණාවරණය මගින් වන්දි මුදල්ද ඔහු වෙත පිරිනමා තිබේ. රටේ ආර්ථිකය ඉහල නංවාලීම සඳහා කැපවන විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සහන රැසක් සලසමින් සිටියි.