සීමාව පැන්න ශ්‍රී ලාංකික ධීවරයින්ට මියෙන්මාර අධිකරණයෙන් සිරදඬුවම්

සීමාව පැන්න ශ්‍රී ලාංකික ධීවරයින්ට මියෙන්මාර අධිකරණයෙන් සිරදඬුවම්

මියන්මාර අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකෙහි නියමුවන් දෙදෙනාට වසර 5 බැගින් සිර දඬුවම් සහ දඩ එරට අධිකරණය විසින් නියම කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

එම ධීවර බෝට්ටු දෙකෙහි ඉතිරි ධීවරයන් 13 ට වසර 3 බැගින් වූ සිර දඬුවම් හා දඩ මියන්මාර අධිකරණය නියම කළ බව තානාපතිවරයා කියා සිටියි.

මියන්මාර අත් අඩංගුවේ පසුවූ ධීවරයන් 15 දෙනාට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ඔවුන්ට එල්ල කර තිබූ පළමු චෝදනාව වූයේ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීම බවත්, දෙවැනි චෝදනාව වූයේ මියන්මාර මුහුදු සීමාවේ නීති විරෝධී අන්දමින් මසුන් ඇල්ලීම බවත් ජනක බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

ධීවරයන් 15 දෙනාම වරද පිළිගැනීමෙන් පසු මියන්මාර අධිකරණය විසින් මෙම දඬුවම් නියම කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

ධීවරයන් 15 දෙනා සම්බන්ධයෙන් නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස තානාපති කාර්යාලය මියන්මාර රජයෙන් ඉල්ලීමක් කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නඩු කටයුතු කඩිනමින් අවසන් වූ බවත් තානාපතිවරයා සඳහන් කරයි.

ධීවරයන් 15 දෙනාට නියම වූ සම්පූර්ණ දඩ මුදල එදිනම තානාපති කාර්යාලය විසින් ගෙවා දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉදිරි කාලයේදී ධීවරයන් 15 දෙනාට පොදු සමාව ලබා ගැනීමට සහ ධීවර බෝට්ටු දෙක නිදහස් කර ගැනීමට හැකිවෙනු ඇති බවත්, නිදහස් කර ගැනීමෙන් පසු ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.