කටාර් පෙන්නන්න ගිහින් කොටුවෙයි

කටාර් පෙන්නන්න ගිහින් කොටුවෙයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (7/23) අත්අඩංගුවට ගන්නා ලදී.

ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන විදෙස්ගත කර තිබේ. නමුත් එරටදී පොරොන්දු වූ පරිදි රැකියා හිමිනොවීම හේතුවෙන්, යළි දිවයිනට පැමිණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලදී.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් අදාල කාන්තාව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද දින (7/23) කාර්යාංශය වෙත කැඳවූ අතර, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව එම කාන්තාව විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය, කාර්යාංශයේ වලංගු අනුමැතියක් නොමැතිව විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුකිරීමට මුදල් අයකිරීම හා වංචා කිරීම යන චෝදනාව යටතේ අද දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.