එංගලන්ත රැකියා සිහින පෙන්නා මාට්ටු

එංගලන්ත රැකියා සිහින පෙන්නා මාට්ටු

එක්සත් රාජධානියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් (7/18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොළඹ 02 ප්‍රදේශයේ Ocean Gate Travels & Tours නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, සමන්තුරේ පදිංචි පුද්ගලයෙකු විසින් එක්සත් රාජධානියේ ගුරු සහායිකා හා අවන්හලක රැකියා ලබාදීම සඳහා කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකුගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 40 බැගින් මුදල් ලබාගෙන තිබේ. නමුත් පොරොන්දු වූ පරිදි රැකියා හිමි නොවීම හේතුවෙන් ඔවුන් විසින් කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව දෙහිවල ප්‍රදේශයේදී විමර්ශන නිළධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් අනතුරුව අද දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා (7/19) දින කොළඹ අලුත් කඩේ අංක 5 දරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුට එරෙහිව කාර්යාංශය වෙත මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශන අංශය වැඩිදුර විමර්ශනයන් මෙහෙයවනු ලබයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.