සංක්‍රමණිකයින් ඉල්ලන්නේ වරප්‍රසාද නොව ඔවුන්ට හිමි අයිතිවාසිකම් - සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ පවසයි

සංක්‍රමණිකයින් ඉල්ලන්නේ වරප්‍රසාද නොව ඔවුන්ට හිමි අයිතිවාසිකම් - සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ පවසයි
පටවන්න උනන්දු වෙන තරමට හොයන්න උනන්දු නෑ
තර්ජනය කරලා මේ ගමන නවතන්න කාටවත් බෑ
-------------------- 
 
සංක්‍රමණිකයින් ඉල්ලන්නේ වරප්‍රසාද නොව ඔවුන්ට හිමි අයිතිවාසිකම් බවත්, එකී අයිතිවාසිකම් ලබාදීම පිළිබඳ වගකිව යුතු පිරිස් කිසිවක් සිදුනොකරන බවත්, ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ පවසයි.
 
‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මයිකල් ජෝකිම් මහතා පවසන්නේ 2024 ජනාධිපතිවරණයට රටම සූදානම්ව පවතින මොහොතක ප්‍රධාන අපේක්ෂකයින්ගේ දේශපාලන වේදිකාවල හෝ මේ සම්බන්ධයෙන් කිසිදු හඬක් නොනැඟෙන බවයි.
 
පසුගියදා කොටුව-ගුරු මැදුරේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද, කියා සිටියේය.
 
‘‘සංක්‍රමණිකයින් ඉල්ලන්නේ වරප්‍රසාද නෙවෙයි. ඔවුන්ට හිමි අයිතිවාසිකම්. මෙවැනි සාකච්ඡාවක් කරන්න කල්පනා කළේ විදේශගත අය ලංකාවට ඇවිත් ඡන්දය දැමීම වැදගත් නැති බවටත්,  ඡන්දය දානව නම් මෙහෙ ඉන්නම ඕන බවටත්, එන අයට ආයෙ යන්න බැරි බවටත් තර්ජනාත්මක ස්වරයෙන් ඇතැම් අය කතා කරන නිසයි.  සෑම පුරවැසියෙකුටම ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. ඒ අයිතියට නිග්‍රහ කිරීම ඉතාම නින්දිතයි. එය සම්පූර්ණයෙන්ම පිළිකුළෙන් යුතුව හෙළාදකිනවා. සංක්‍රමණිකයින්ට තමන්ගේ ගමනාන්ත රටේ සිට ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස අපි කාලයක් තිස්සේ බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස යම් යම් අය මේවන විට ඊට ඇහුන්කන්දෙන තත්ත්වයක් තියෙනවා. ඒත් හරිම අඩුවෙන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට අවුරුදු 4ටම දෙන්නේ ඩොලර් බිලියන 3ක මුදලක්. ඒ  වාරික ක්‍රමයටයි. හැමෝම වගේ කියන්නේ අයි.එම්.එෆ් තරහ කරගෙන, ඒ ණය මුදල නැතිව අපට ඉදිරි ගමනක් නෑ කියලා. ඒත් මහබැංකුවේ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස 7ට පමණක් පවුල් ප්‍රේෂණ හැටියට අපගේ සංක්‍රමණක ශ්‍රමිකයින් ඩොලර් බිලියන 3.71ක් එවලා තියෙනවා. ඒ කියන්නෙ අයි.එම්.එෆ් අපට අවුරුදු හතරටම දෙන ණය මුදලට වඩා වැඩි මුදලක් අපේම සංක්‍රමණික ශ්‍රමිකයින් මේ මාස හතට රටට උපයලා දීලා තියෙනවා. නමුත් අපි ඒ අයට දෙන ගෞරවය මොකක්ද? පිළිගැනීම මොකක්ද? ඒ අය ලංකාවට ඇවිත් ඡන්දෙ දාන එකට විරුද්ධව කතා කරන අය සංක්‍රමණිකයින්ගේ ගැටලු ගැන කතා කරලා තියෙනවද?
 
 මේ දිනවල පැවැත්වෙන කිසිදු දෙශපාලන රැස්වීමක ඒ ගැන කතා වෙනව ඇහිල තියෙනවද? අපෙක්ෂකයින් දෙදෙනකු පමණක් ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාවට ඡන්ද අයිතිය ලබාදිය යුතුයි යන්න හා විදේශ තානාපති සේවාවල සේවය වැඩිදියුණු කළ යුතුයි කියන කාරණා විතරක් ඉතාම කෙටියෙන් කතා කරලා තියෙනවා. මේ අයට ඊට වඩා තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බඳු සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන කතා කළ යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි,  කියලයි.’’
 
‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ යනු රටේ පුම්‍රඛ පෙළ වෘත්තීය සමිති 4ක් හා සිවිල් සමාජ සංවිධාන, සංක්‍රමණික සංවිධාන 39ක එකතුවකි. ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ නියෝජනය කරන ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා සංවිධානයේ මහලේකම් අශීලා දන්දෙණිය මෙම මාධ්‍ය හමුවට එක්වමෙින් අදහස් පළ කළේ මේ අයුරිනි.
 
“මේ ශ්‍රමිකයින් මේ රටේ මේ ආර්ථික ක්‍රියාවලියේ මොනතරම් වැදගත් වුණත්, මේ අය අඩුම ගාණේ ශ්‍රමිකයින් ලෙස වත් පිළිගැනීමට ලක්වෙලා තියෙනවද? මේ විදෙස්ගත ශ්‍රමිකයින්, ‘ශ්‍රමිකයින්’ එහෙමත් නැතිනම් ‘කම්කරුවන්’  විදිහට පිළිගැනීමක් ඇත්නම් ඔවුන්ට සංවිධානය වෙලා, වෘත්තීය සමිති හැටියට යම් යම් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්න පුළුවන්. තමන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කරන්නට පුළුවන්. ඒත් සංක්‍රමණික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නෙ වෙනත් අය. එතැන සංක්‍රමණික ශ්‍රමිකයින් නෑ. මෙරට පුරවැසියන් රට පටවන එක මේ යුගයේ එක්තරා විදිහකට ෆැෂන් එකක් බවට පත්වෙලා. ආර්ථිකය මේ මට්ටමික් හරි පවත්වාගෙන යාමට නම් එය කළ යුතුම කාර්යයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ට තමන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නෑ. රට පැටවීමෙන් පස්සෙ තමන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කළොත්, මේ රට පටවන අයම අපේ සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාවම, ‘කඩාකප්පල්කාරීන්’, ලෙස ලේබල් කරනවා. පහුගිය කාලයේ එක ඇමතිවරයෙක් අපේ රටේම සංක්‍රමණිකයින් පිරිසක් ‘පුහුණු ශ්‍රමිකයින් ‘ හැටියට නම් කරලා, සහතික කරලා ඊශ්‍රාලයට යැව්වා. ඊට පස්සෙ එහෙදි ඔවුන් තමන්ගෙ ආහාර, නවාතැන් විතරක් නෙවයි, ගිවිසුමේ එකඟ වුණු පරිදි වැටුප් නොලැබෙන කොට ඒ ගැන කතා කරන කොට ඔවුන් මහා අපරාධකාරයින් හැටියට හංවඩුගහලා, මෙහේ යකා නටන්න පටන් ගත්තා. ඔවුන් අශීලාචාර පිරිසක් හැටියට  ලේබල් අළවන්න ගත්තා. ඒක ඉතාම කනගාටුදායකයි. මේ  රට බංකොළොත් වෙලා හතරගාත දාලා වැටිලා ඉඳිද්දී, විදේශ රටවල සිටින ශ්‍රමිකයින් හොයලා දුන්නු ඩොලර් ටිකෙන් තමා මේ මට්ටමින් හරි ගොඩයන්න පුළුවන් වුණේ. මේ රටේ සංක්‍රමණික ශ්‍රමිකයින් කියන්නෙ වහල්ලු නෙවෙයි. තමන්ගේ ඕනෑ එපාකම්වලට විතරක් මෙහෙයවන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඒ නිසාම ඔවුන් ගැන තීන්දු තීරණ ගන්නා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මණ්ඩල වේවා අමාත්‍යංශයේ මණ්ඩල වේවා ඒ තැන්වල මේ සංක්‍රමණිකයින්ට තමන්ගේ ප්‍රජාව නියෝජනය කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුයි.’’ ඇය වැඩිදුරටත් කියා සිටියාය.
 
මෙම අවස්ථාවට එක්වුණු ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය’ නියෝජනය කරන ලංකා ප්ලස් ආයතනයේ නිරෝෂන් සේනාධීර මෙලෙස සඳහන් කළේය.
 
‘‘සංක්‍රමණික ශ්‍රමිකයින්ට වෙනස් කොට සැලකීමට එරෙහිව අපි කටයුතු කරනවා. පසුගිය කාලය පුරාවටම අපි දැක්කෙ සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ පවුල්වලට මහන මැෂිමක්, පිඟන් කට්ටලයක්, ගෑස් කුකර් එකක් වගේ මොනව හරි දෙයක් දීලා පැත්තකට කරන එකයි. එහෙම වෙන්න බෑ. මේ අයගේ  ඡන්ද අයිතිය තහවුරු වී නැතිවීමත් වෙනස් කොට සැලකීමක්. විවිධ රෝගාබාධවලට ලක්වෙලා ඉන්න නිසාම සංක්‍රමණය වීමට ඉඩ ප්‍රස්ථාව නැතිවීමත් වෙනස් කොට සැලකීමක්. නිදසුනක් විදිහට එච්.අයි.වී සමග දිවි ගෙවන පිරිස් සලකා බලන්න පුළුවන්. ඒ අයට යාමට ඉඩ ප්‍රස්ථාව ඇති රටවලටවත් යාමට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත්වීම් කරලා අවශ්‍ය විධිවිධාන සැලසිය යුතුයි. සංක්‍රාන්ති ස්ත්‍රී-පුරුෂ සමාජභාවී පිරිස් විදේශගතවීමේදී ඔවුන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමට ඇඳුම් පවා ගලවා බලන සිදුවීම් අපට වාර්තා වී තිබෙනවා. එය ඉතාම ශෝචනීය තත්ත්වයක්. මේ ගැටලු වට විසඳුම් තිබිය යුතුයි. ඒවා ඉදිරියේදී මේ රට බාරගන්නා ජනාධිපතිවරුන්, ඔවුන්ගේ දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති සම්පාදකයින් තමන්ගේ වැඩපිළිවෙළ තුළ මේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. ’’
‘සංක්‍රමණිකයින්ගේ හඬ’ ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රොෙටක්ට් සංගමයේ ප්‍රධාන ලේකම්, කල්ප මධුරංග මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාවට තර්ජනය කරන මැති ඇමතිලා මේ රටට පිළිගත හැකි යමක් කර නොමැති බවයි.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද, කියා සිටියේය.
 
‘‘2020 පමණ සිට සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය ලෙස අප පැවති රජයට දිගින් දිගටම සංක්‍රමණිකයින්ගේ ඉල්ලීම් හා ගැටලු සම්බන්ධයෙන් දැනුම්දුන්නා. කතා කළා. ඒත් අවාසනාවකට සංක්‍රමණික ශ්‍රමිකයින් රටට ගෙන එන සල්ලි ටික දිහා කෙළ හලාගෙන බලා සිටීම හැරුණු විට ඔවුන්ගේ ගැටලු විසඳන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාදෙන්න මේ කවුරුවත් මැදිහත් වුණේ නෑ. ලක්ෂ 30ට ආසන්න ප්‍රමාණයක් දැනට විදෙස්ගත වෙලා ඉන්නවා.  පුරවැසියන් ලෙස ඔවුන්ට  ඡන්දය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඔවුන් අවුරුද්දකට ඩොලර් බිලියන 7ට ආසන්න ප්‍රමාණයක් මේ රටට එවනවා. ඒ එවන සල්ලි කවුරු හරි හරි හොරා කනව නම්, එහෙමත් නැතිනම් කවුද විධිමත් විදිහට ඒ සල්ලි මේ රටේ යහ පැවැත්මට දායක කරගන්නේ කියන එක ගැන තීන්දුවක් ගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. ඒත් ඒ අයිතිය සුරක්ෂිත කරන්නට මේ පාලකයින් කාටවත් වුවමනාවක් ඇති බවක් පේන්න නෑ. මේ රටින් විදේශ රටක රැකියාවකට යද්දි මොන රටේද රැකියාව කළ යුත්තේ, මොන මොන රැකියා කොන්දේසි යටතේද රැකියාව කළ යුත්තේ, කොපමණ වේලාවක් දවසේ වැඩ කළ යුතුද?, නවාතැන් පහසුකම් තියෙනවද, ඒ මොන විදිහටද?, එද්දි ඒ මිනිසුන්ට විශ්‍රාම වැටුපක් තියෙනවද? අනතුරක්, ලෙඩක් දුකක් හැදුණොත් ප්‍රතිකාර ලැබෙනවද? ඒ සම්බන්ධයෙන් මොකුත් ආරක්ෂණ ක්‍රමවේදයක් තියෙනවද?යන්න ගැන සොයා බැලීමට එයාලට අයිතියක් තියෙනවා. ඒත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කිසිම තැනක මේ ශ්‍රමිකයින්ට නියෝජනයක් නැ. ඒක නියෝජනය කරන්නේ බිස්නස් කරන ඒජන්සි කාරයෝ ටිකකුයි, කාලෙන් කාලෙට විදේශ රැකියා අමාත්‍යංශයට පත්වෙන ඇමතිවරයයි, නිලධාරි මණ්ඩලයයි, බියුරෝ එකයි. එවැනි තත්ත්වයක මේ සංක්‍රමණික ශ්‍රමික කර්මාන්තයම දැඩි අර්බුදයකට ගිහින් තියෙනවා. 16 වතාවක් අයි.එම්.එෆ් ගිහින් බංකොළොත් වෙච්චි රටක් මේක. ඉතිහාසය පුරා නන්නත්තාර වෙච්චි, මේ රට අර්බුදයට ඇදලා දාපු ණය කන්දක හිරකරපු පාලකයින්ම ඇවිත් අපට කියනවා, අපි තමා මේක ගොඩ දැම්මෙ කියලා. නෑ.අපි පැහැදිලිවම කියනවා, මේක මේ මට්ටමින් හරි ගොඩදැම්මෙ විදෙස්ගත ශ්‍රමිකයින්. එක පාලකයෙක් පහුගිය දවස්වල කීවා මේ රට ගොඩදාන්න එයාට උදව්කෙරුවෙ කාන්තාවන් තුන්දෙනෙක් කියලා. ඒ කාන්තාවන් තුන් දෙනා අතර මැදපෙර දිග රැකියාවට ගිහින් අනේකවිධ දුක් ගැහැට විඳගෙන මේ රටට ඩොලර් එවන ගෘහ සේවිකාවන් ගැන එයා කියන්නෙ නෑ. ඒ කාන්තාවන් අතර ඇඟලුම් සේවිකාවන් නෑ. මේ රටේ සංක්‍රමණික ශ්‍රමිකයින්ට තමන්ගෙ ගමනාන්ත රටේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව හදලා දීලා නැති තත්ත්වයක ඒ අය අතින් වියදම් කරගෙන තමන්ගෙ අයිතිය තහවුරු කරන්න ලංකාවට එද්දි සමහර කාලවලදී එයාලා ‘රට විරුවො‘ වෙනවා. දැන් එද්දී සමහර දේශපාලකයින් කියන්නේ එයාලට එන්න අයිතියක් නෑ කියලයි. එයාලට තර්ජනය කරනවා. මේ රට නන්නත්තාර වෙලා තියෙද්දී මේ රට ගොඩදාන්න ඩොලර් බිලියන 3ට වැඩි මුදලක් රටට එව්ව මිනිස්සුන්ටයි මේ කියන්නෙ. අයි.එම්.එෆ් එක ඉස්සරහ හිඟාකාලා ගන්න ගාණටත් වැඩි ගාණක් ඒ මිනිස්සු මැරීගෙන හම්බකරලා රටට එවද්දී තමා මෙහෙම කියන්නෙ. ඔය කයිවාරු ගහන, මේ රට බංකොළාත් කරපු රටේ ජනතා නියෝජිතයින් යයි කියාගත්තු අයට අපි කියන්නේ, මේ රටේ සංක්‍රමණික ශ්‍රමිකයින්ට තර්ජනය කරලා, මේ ශ්‍රමිකයින්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කරන්න කාටවත් බෑ.’’