විදෙස් සිහින මවා මුදල් ගැරූ කතුන් දෙදෙනා කාර්යාංශ දැලට හසුවෙයි

විදෙස් සිහින මවා මුදල් ගැරූ කතුන් දෙදෙනා කාර්යාංශ දැලට හසුවෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 15ක් හා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.730,000 ක මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිලි 4ට අදාළව මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇයගේ නිවසේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් නඩුවක් සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 බැගින්, නඩු 4 සඳහාම දඩුවම් නියම කර නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර, ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. සැකකාරියට විරුද්ධව තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.