ලෙබනනයේ යුද අත්දැකීම් ලැබූ ලාංකිකයා : 'වටේටම බෝම්බ දාන නිසා අපි එහෙන් ආවා'

ලෙබනනයේ යුද අත්දැකීම් ලැබූ ලාංකිකයා : 'වටේටම බෝම්බ දාන නිසා අපි එහෙන් ආවා'

දකුණු දිග ලෙබනනයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඒහි වෙසෙන සාමාන්‍ය වැසියන් සිය ජීවිතාරක්ෂාව පතා පළා යමින් සිටින බව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු බීබීසී සිංහල වෙත පැවසීය.

යුද ගැටුම් හමුවේ තමන් ලද අත්දැකීම් ගැන විස්තර හෙළි කරමින් ඔහු පැවසුවේ ඊශ්‍රායල් ගුවන් හමුදා ජෙට් යානා අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවය.

ප්‍රහාර වලින් මේවන විට පුද්ගලයින් 550කට අධික පිරිසක් මියගොස් තිබේ.

'සඳුදා ඉදලා එක දිගටම ගැහුවා'

ඊශ්‍රායල ප්‍රහාර වැඩි වශයෙන් එල්ලවූ දකුණු දිග ලෙබනනයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන සාගර කුමාර පීරිස් (40) තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත මෙලෙස අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රහාර එල්ල කරන විට තමා සහ බිරිඳ දකුණු දිග ලෙබනනයේ ජීවත් වෙමින් සිටි බවයි.

"මම දැන් ලෙබනනයට ඇවිල්ලා මාස 06ක් වෙනවා. මම කොරෝනා එද්දී ලෙබනනයේ සේවය කරමින් ඉදලා ලංකාවට ගිහින් ඉදලා ආපහු ලෙබනන් වල රැකියාවට ආවා. දැන් මම වතු සේවකයෙකු විදිහට රැකියාව කරනවා. මගේ බිරිඳත් ඉන්නේ මාත් එක්ක."

"අපි හිටිය දකුණු ලෙබනනයේ අන්අබතියේ කියන නගරයේ. ඒ පැත්තේ මුලින්ම ඊශ්‍රායලේ කෆීර් එක ඇවිල්ලා අහස උඩ බෝම්බ වගේ දෙයක් පුපුරුවනවා. ඕක දවස් ගානක් කළා. එහෙම කළේ බය ගන්වන්න. නමුත් මිනිස්සු එහෙන් අයින් වුනේ නැහැ."

"ඒත් ඉරිදා ඉදලා බෝම්බම ගහන්න පටන් ගත්තා උඩින් ඇවිල්ලා. පාන්දර 05ට විතර ගහන්න පටන් ගත්තේ. එහෙම පටන් අරන් සඳුදා ඉදලා එක දිගටම ගැහුවා. වටේටම ගැහුවා."

"මගේ නෝනා ටිකක් බයයි. පස්සේ මම කිව්වා අපි මෙහෙන් යමු කියලා. එහෙම කියලා අපි හිටිය ගෙදර හිටියා වයසක අම්මා කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාට කතා කරලා කිව්වා එයාව එක්ක යන්න කියලා බෝම්බ දානවා කියලා වටේටම. පස්සේ එයා ඇවිල්ලා අම්මව එක්කන් ගියා."

"අන්අබතියේ වල රැකියාව කරන ලංකාවේ තව අක්කා කෙනෙක් ඉන්නවා. එයා සේවය කරන තැන හාම්පුතා බේරූට් වලට යනවා කිව්වා. ඒ කෙනා මාවයි මගේ බිරිඳවයි බේරූට් වලට එක්කන් යන්න කැමති වුණා." ඔහු පැවසුවේය.

"ඒත් ඉරිදා ඉදලා බෝම්බම ගහන්න පටන් ගත්තා උඩින් ඇවිල්ලා. පාන්දර 05ට විතර ගහන්න පටන් ගත්තේ. එහෙම පටන් අරන් සඳුදා ඉදලා එක දිගටම ගැහුවා. වටේටම ගැහුවා."

| "ඒත් ඉරිදා ඉදලා බෝම්බම ගහන්න පටන් ගත්තා උඩින් ඇවිල්ලා. පාන්දර 05ට විතර ගහන්න පටන් ගත්තේ. එහෙම පටන් අරන් සඳුදා ඉදලා එක දිගටම ගැහුවා. වටේටම ගැහුවා."ඡායාරූප මූලාශ්‍රය,Getty Images

පුදුම බයකින් ඒ ගමන ආවේ

තමා සහ බිරිඳ අන්අබතියේ සිට බේරූට් අගනුවර බලා පැමිණි ගමනේදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් විනාශ වූ නිවෙස් සහ ගොඩනැගිලි ගිනි ගනිමින් තිබෙන ආකාරය දුටු බවත්, එම ගමන ඉතා බියජනක එකක් වූ බවත් සාගර පීරිස් කියා සිටියේය.

"අපි ආව මාර්ගයේ දෙපැත්තේ ගෙවල්වලට පවා ඊශ්‍රායල් ගුවන් හමුදාවෙන් බෝම්බ ගහලා තියෙනවා දැක්කා. අපි බොහොම බයෙන් ආවේ. ඒ එන පාර දෙපැත්තේ පවා අපි දැක්කා බෝම්බ වැදිලා විනාශ වෙලා ගිනි අරගෙන තිබ්බ විදිහ."

"අන්අබතියේ ඉදලා බේරූට් අගනුවරට එන්න සාමාන්‍යයෙන් ගතවෙන්නේ පැය දෙකක් වගේ කාලයක්. ඒත් ඊයේ දවසේ අපිට ඒ දුර එන්න පැය 12කට වඩා ගත වුණා. පාරේ වාහන පිරිලා නිසා පුදුම තදබදයක් ඇතිවෙලා තිබුනේ. මේ තරම් වාහන ප්‍රමාණයක් එහෙ තිබ්බද කියලත් හිතුණා. පාන්දර 02ක වගේ වුනා අපිට බේරූට් වලට එන්න."

"එහෙම ඇවිල්ලා බේරූට් වල ඉන්න මගේ යාලුවෙකුගේ ගෙදර දැන් අපි නැවතිලා ඉන්නේ. ලෙබනන්වල ඉන්න ශ්‍රී ලංකාවේ තානාපතිතුමා කිව්වා අපිට නතර වෙන්න තැනක් සොයලා දෙන්නම් කියලා." ඔහු පැවසීය.

"පාරේ වාහන පිරිලා නිසා පුදුම තදබදයක් ඇතිවෙලා තිබුනේ. මේ තරම් වාහන ප්‍රමාණයක් එහෙ තිබ්බද කියලත් හිතුණා. පාන්දර 02ක වගේ වුනා අපිට බේරූට් වලට එන්න."

| "පාරේ වාහන පිරිලා නිසා පුදුම තදබදයක් ඇතිවෙලා තිබුනේ. මේ තරම් වාහන ප්‍රමාණයක් එහෙ තිබ්බද කියලත් හිතුණා. පාන්දර 02ක වගේ වුනා අපිට බේරූට් වලට එන්න."ඡායාරූප මූලාශ්‍රය,Getty Images

එහෙ තත්ත්වය ටිකක් භයානකයි

ලෙබනනයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව පවතින යුදමය තත්ත්වය හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනම් තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසට දැනුම් දෙමින් දුරකථන අංක 03ක් ලබා දී ඇත.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

එල්ල වන ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හමුවේ දකුණු දිග ලෙබනනයේ පවතින තත්ත්වයේ යම් භයානක බවක් පෙන්නුම් කෙරෙන බව ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර බීබීසී සිංහල සේවයට පැවසීය.

"තත්ත්වය ටිකක් භයානකයි දකුණු පළාත්වල. යුද්ධය සීමාවෙලා තිබුනේ දකුණු පළාතේ දේශසීමාව ආසන්නයේ. නමුත් දැන් තත්ත්වය ටිකක් එතැනින් ඉදිරියට ඇවිල්ලා."

"දකුණු ලෙබනනයේ පිහිටා තිබෙන සයිදා සහ ටියර් කියන නගර දෙකේ මේ වෙද්දී පුද්ගලයින් 125,000 කට අධික පිරිසක් අවතැන් වෙලා තියෙනවා. බෝම්බ වැටුණු තවත් ප්‍රදේශයක් වන නවදි වල ශ්‍රී ලාංකිකයින් පිරිසක් හිටියා. එහෙ හිටිය ලංකාවේ සිව්දෙනෙක්. මේ අය අද (සැප් 24) උදේ වෙද්දී බේරූට් අගනුවරට ළඟා වෙලා තියෙනවා."

"එක් ලාංකික කාන්තාවක් දැනට දකුණු ලෙබනන් දේශ සීමාවේ ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. අපි ඇයව සම්බන්ධ කර ගත්තා. දැනට ඇය කරදරයක් නැතිව ඉන්නවා."

"මේ වෙද්දී ලෙබනනය පුරා ශ්‍රී ලාංකිකයින් 7,600ක් පමණ ඉන්නවා. අපි ඔවුන් සෑම දෙනා ගැනම අවධානයෙන් පසුවනවා වගේම ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය දේවල් සොයා බලනවා. දැනට මධ්‍යම ලෙබනනයේ සහ බේරූට් අගනුවරට විශාල ගැටලුවක් නැහැ." තානාපතිවරයා පැවසුවේ

ලෙබනනයට එල්ලවූ ඊශ්‍රායල් ප්‍රහාර

ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සඳුදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 558 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

1990 වසරෙන් පසුව ලෙබනනයේ මාරාන්තික ගැටුම් ඇතිවූ දිනය ලෙසට මෙය සැලකිය හැකියි.

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ දකුණු දිග ලෙබනනයේ වෙසෙන පවුල් දහස් ගණනක් සිය නිවෙස්වලින් පලා ගොස් ඇත.

මෙම ගැටුම පුර්ණ යුද්ධයක් කරා ළං වන බවට ලකුණු පෙන්නුම් කර ඇති බැවින් සංයමයෙන් කටයුතු කරන්නැයි ලෝක බලවතුන් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියි.

(දිනුක් හේවාවිතාරණ - බීබීසී සිංහල)