සංක්‍රමණික සේවකයින්ගේ ඡන්ද අයිතිය ගැන ජනපතිගෙන් ඉඟියක්

සංක්‍රමණික සේවකයින්ගේ ඡන්ද අයිතිය ගැන ජනපතිගෙන් ඉඟියක්
මහමැතිවරණයට පෙර හැකියාවක් නෑ
ඒත් ඒ ගැන මටත් අත්දැකීම් තියෙනවා 
සංක්‍රමණිකයින්ගේ ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක්
------------- 
 
සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම ඇතුළු මැතිවරණ නීති කිහිපයක් සංශෝධනය කිරීමට දිගු කාලයක් තිස්සේ ඉල්ලා ඇතත්, එය තාමත් ඉටු නොවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. එබැවින් සංක්‍රමණිකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම ඇතුළු නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා සිදු කළ යුතු නීතිමය සංශෝධන ඉදිරි මහමැතිවරණයට පෙරාතුව සිදුකරන ලෙස තමන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය.
 
2024 සැප්තැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් අභිනව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් අනතුරුව රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. නව ජනාධිපතිවරයා නීත්‍යනුකූලව නිසි ලෙස තේරී පත්වූ බව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු ජනාධිපති අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පවත්වන ලද අතර මෙම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින් ඊට ප්‍රතිචාර දැක්වීය.
 
මෙම මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභා කිහිපයකම තමන්ද, නියෝජනය වූ බැවින් එකී අවශ්‍යතාව පිළිබඳ නිසි අවබෝධයක් ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. එහෙත් මහමැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්විය යුතුව ඇති බැවින් ඊට පෙරාතුව නීති සංශෝධනය කිරීමට හැකියාවක් නැති වුවද, හැකි ඉක්මනින් එකී කාර්යයන්ද ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
2020 පමණ කාලයක සිට සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ“ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මයිකල් ජෝකිම් මහතාගෙන් මේ පිළිබඳ අප කළ විමසුමකදී හෙතෙම මෙසේ සඳහන් කළේය.
 
“ඊයේ 22 වැනි දින මැතිවරණ කොමිෂන් සභාව පැවති උත්සවයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා  මැතිවරණ නීති වෙනස් කර සංශෝධනය කළ යුතු බවට තේරී පත් වූ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.  සංක්‍රමණිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවේශ වීමට පහසුකම් සැලසිය යුතු බව ඔහු විශේෂයෙන් පැවසූ අතර, ඊට පිළිතුරු දුන් අනුර දිසානායක මහතා ද ප්‍රකාශ කළේ සංක්‍රමණිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවේශය සහතික කිරීම සඳහා නීති සංශෝධනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමට එකඟ වන බවයි. මෙය ඡන්ද ප්‍රවේශය සඳහා ඇති ඉල්ලුම සම්බන්ධයෙන් VOM ලෙස අප කාලයක් තිස්සේ ගෙන යන අරගලයේ සාර්ථක සංධිස්ථානයක් ලෙස සලකන්නට පුළුවන්.  මෙම ඉල්ලුම හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීම අපට දැක ගත හැකි වන පරිදි මෙම කාරණය සම්බන්ධයෙන් අඛණ්ඩව කටයුතු කිරීම අවශ්‍යයි. අපි මෙන්ම අනෙකුත් පාර්ශ්වකරුවන්ද මේ සම්බන්ධයෙන් සක්‍රීයව ක්‍රියා කළ යුතු යයි අපි විශ්වාස කරනවා.“