විදෙස් රටවල සිටි ලාංකිකයින් 24ක් පිටුවහල් කරයි

විදෙස් රටවල සිටි ලාංකිකයින් 24ක් පිටුවහල් කරයි

ස්විස්ටර්ලන්තය සහ ජර්මනියේ නීති විරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 24 දෙනකු එම රටවලින් පිටුවහල් කර ඊයේ (31 වැනිදා) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත එවා ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග වාර්තා කරයි. .

එම රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ඉකුත් 2012 සහ 2013 යන වර්ෂවල සිට ඔවුන් නීති විරෝධී ලෙස රැඳී සිටිය දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන එම අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පිටුවහල් කර තිබේ.

ජර්මනියේ සිට 20 දෙනකුද , ස්විට්සර්ලන්තයේ සිට 04 දෙනකු ද මෙසේ පිටුවහල් කර එවා ඇත.මෙම පිරිස අතර එක් කාන්තාවක් වෙයි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණීමෙන් පසු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔවුන් භාරගෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා වෙත භාරදී ඇත.

නිරෝධායන ක්‍රියාවලිය නිමා වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.