විගමණික ශ්‍රමිකයන්ගේ ඩොලර් එකකට රුපියල් 240 දෙන්න

nimal-siripala-de-silva

අපේ රටට  විදේශ විනිමය ගෙන එන විගමනික ශ්‍රමිකයන් එවන සෑම ඩොලර් එකටම අනිවාර්යෙන්ම රුපියල් දෙසිය හතළිහක් දීමට මහා භාණ්ඩාගාරය කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද අපේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට ඇති හොඳම විසඳුම එය බවත්, විගමණික ශ්‍රමිකයන් එවන ඩොලර්වලට එසේ ඉහල මුදලක් ලබා නොදුනහොත් ඔවුන් නියත වශයෙන්ම අවිධිමත් ලෙස එනම් උණ්ඩියල් ක්‍රමයට  මුදල් ප්‍රේෂණය කිරීමේ මාර්ගවලට ඇබ්බැහිවීමට ඉඩ ඇත.

එම නිසා අපි කරන වැඩවල ආර්ථික ප්‍රතිඵලදායීභාවය ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ  භාණ්ඩාගාරය නොගන්නේ නම්, අපි ක්‍රියාත්මක කරන මෙම වැඩ වලින් අපේක්ෂා කරන ජාතික ප්‍රතිඵලය නොලැබෙන්න ඉඩ තිබෙන බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගියදා  පකිස්ථානයේ දී සාහසිකයන්ගේ ප්‍රහාරයකින්  මියගිය ප්‍රියන්ත  කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට විදේශ නියුක්ති කාර්‍යංශයේ අරමුදලින් රුපියල් ලක්ෂ 25ක්  ප්‍රදානය කිරීම බත්තරමුල්ල  විදේශ නියුක්ති කාර්යාංශයේ  පැවැති අවස්ථාවේදීය.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද කාර්යාංශ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ද ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ,දරුවන්  සහ පවුලේ සාමාජිකයන්ද  මෙම අවස්ථාවට එක් වූහ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වසරේදී විගමණික ශ්‍රමිකයන් ලක්ෂ තුනක් විදේශ රැකියා සඳහා යැවීමට අපි ඉලක්ක කර තිබෙනවා.නමුත් ලක්ෂ තුනක් මෙම විගමණික ශ්‍රමිකයන් අපි විදේශ රැකියා සදහා වුවත් අපි ඔවුන්ගෙන් අපේක්ෂා කරන විදේශ විනිමය අපට ලැබෙනවාද යන්න ගැන අපි අවධානය යොමු කළ යුතුයි. පසුගිය කාලයේ අපේ විදේශ රැකියා නියෝජිත ආයතන ද දැඩි උනන්දුවක් දක්වමින් ක්‍රියාත්මක වෙලා විශාල පිරිසක් විදේශ රැකියවලය යවනු ලැබුවා. නමුත්  මෙරටට ඩොලර්ආවේ නැහැ. එයට හේතුව ඩොලර් එකකට කළු කඩේ රුපියල්  දෙසිය හතළිස් පහක් ලබා දෙන විට මොන ශ්‍රමිකයා ද රුපියල් දෙසීය දෙකට තමන්ගේ ඩොලර් මෙරටට එවන්නේ යැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. එම නිසා මේ තත්ත්වය තුළ ශ්‍රමිකයන් ලක්ෂ හයක් විදේශ රටවලට ගියත් අපි බලාපොරොත්තු වන ආර්ථික ශක්තිය අපේ රටට ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව කරුණු  අදාල බලධාරී නිලධාරින්ද සහභාගී වන අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී කරුණු පෙන්වා දී මෙම පිටරටවල සිටි අපේ  ශ්‍රමිකයන් එවන මුදල් වලට අවම වශයෙන් ඩොලර් එකකට රුපියල් දෙසීය හතළිහක් හෝ ලබා දෙන ලෙසට යෝජනා කරන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ සුවිශේෂ දායකත්වයක්, සේවයක් ලබාදෙන ආයතනයක් බවය.නමුත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කියා මිනිස් වෙළඳාමට  දිරි දීම හෝ අපේ රටේ කාන්තාවන් විකුණන ආයතනයක් බවට පත් විය යුතු නැත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙන් ද අවධාරණය කර ඇත්තේ කාර්යාංශයේ ප්‍රධාන වගකීම වන්නේ විගමනික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම යන්නයි. එම නිසා මෙම කාර්යාංශය ජනතාවාදී ආයතනයක් බවට පත්විය යුතුයි. එසේ නැතුව අපට ඩොලර් නැතැයි කියා අපේ  කාන්තාවන්  අනාරක්ෂිතව විදේශ රැකියාවලට යැවීම අපි  කිසිසේත්ම අනුමත නොකරමු.  එම නිසා මෙම වසරේදී අපි අපේ විගමනික ශ්‍රමිකයන්ගේ විශේෂයෙන් කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සුභසාධනය ගැන සොයා බැලීම ඉතාමත්ම  ඉතාමත්ම පුළුල්ව සිදු කිරීමට පියවර ගත යුතුයි.

  අපේ රටේ විගමණික ශ්‍රමිකයන් රටරටවලට ගොස් අසරණ කරන තත්වයන් පිලිබද ජනමාධ්‍ය හැමවිටම කරුණු හෙළිදරව් කරනවා. සමහර ඒජන්සිකරුවන් අපේ කාන්තාවන් විදේශ රටවල්වලට ගෙන ගොස්  කාමරවල හිරකර ගෙන ඔවුන්ව ගැනුම්කරුවන්ට විකුණන  තොරතුරු ද පසුගිය දිනවල මාධ්‍ය වලින් හෙළිදරව් කරනු ලැබුවා. මෙම ආයතනයේ  ඇති මිනිස් වෙළඳාමට  එරෙහි කාර්යාංශය මේවට තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන ඒජන්සිකරුවන් අල්ලා , එම ඒජන්සි  තහනම් කර ඔවුන්ට එරෙහිව නඩු පවරා උපරිම දඬුවම් දිය යුතුයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මිනිස් වෙළඳාමට එරෙහි ප්‍රඥප්තියට අනුව විශාල චෝදනා පත්‍රයක් අපේ රජයට එවලා තිබෙනවා. එම චෝදනා වලට පිළිතුරු ලබාදෙමින් එම චෝදනා වලට අදාල ඉදිරි ක්‍රියාමාර්ග අපි නොගත්තොත් අපේ ශ්‍රමිකයන් විදේශ රටවල්වලට රැකියා සඳහා යැවීමට අපට නොහැකි තත්ත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා.ඒ අනුව අදාළ කාර්යාංශ පනත සංශෝධනය කිරීමටත් නව නීති සැකසීමත් මේ වන විට මම ආරම්භ කර තිබෙනවා.