රට හැර යන අයගෙන් 30%ක් උපාධිධාරියෝ

migrant-airport

මේ දිනවල දකින සුපුරුදු දසුනක් වන පෝලිම්වල විශේෂම පෝලිමක් වනුයේ විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් ඊට අදාළ කටයුතු සිදුකරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු ඒ විෂයට අදාළ කාර්යාල ඉදිරිපිට ඇති දිගු පෝලිම් ය. විවිධ අරමුණුවලට විදෙස්ගත වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් පාන්දර සිට සවස් වන තුරුම එසේ පෝලිම්වල රැඳී සිටින ආකාරය පසුගිය කාලයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

ඔක්තෝබර් මාසයේ මුල් සති දෙක ගෙවී යන විට ඇමරිකානු පුරවැසිභාවය ලබා දෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා අයදුම්පත් කැඳවීමද ආරම්භ වූ අතර ඒ සඳහා අවශ්‍ය ඡායාරූප ලබා ගැනීමට ද විවිධ වෘත්තීයවල නිරත අය, විශේෂයෙන් ම තරුණ කණ්ඩායම් ඡායාරූප ශාලාවලට වැඩි වශයෙන් පැමිණුණු බව ද ඒවායේ හිමිකරුවෝ ප්‍රකාශ කරති.

කාන්තාවන් විදෙස්ගත වීමේදී පැවති නීතිරීති ලිහිල් කිරීමක් සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කළ අතර විදෙස්ගතවන්නන්ට ආණ්ඩුව උත්තේජකයක් ලබා දී ඇතුවා සේ ය.

මෙලෙස අධික ලෙස පුද්ගලයන් විදෙස්ගත වීමේ ප්‍රවණතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ”සංක්‍රමණය වීමට අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව වැඩි වීම, විශේෂයෙන් ම තරුණයන් හා රජය පිළිබඳ අතෘප්තිමත් වූ ඡන්දදායකයෝ” යන මැයෙන් අදහස් සමීක්ෂණයක් සිදු කර තිබේ.

මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කොළඹ පිහිටා ඇති පර්යේෂණ ආයතනයක් වේ. ඔවුන් මීට පෙරද අදහස් සමීක්ෂණ කිහිපයක්ම කර තිබේ.

ඔවුන් මෙම සමීක්ෂණයෙන් මතු කර ඇති ප්‍රධානම කරුණ වන්නේ විදෙස්ගත වීමේ අපේක්ෂාවෙන් සිටින අයවලුන් අතරින් සංක්‍රමණය වීමටම කැමති අයගේ දත්තයි.

මෙම සමීක්ෂණයේ පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලාංකිකයන්ගෙන් 27%ක් වෙනත් රටකට සංක්‍රමණය වීමට අවස්ථාවක් තිබේ නම් සංක්‍රමණයට වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මුළු ජනතාවගෙන් ම 27%ක් සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටීම ඉතා විශාල අර්බුදයකට මග කියන්නකි. ඔවුන් පෙන්වා දෙන අන්දමට තරුණයන්, විශේෂයෙන් ම උසස් අධ්‍යාපනය හදාරා ඇති ජනතාව මෙලෙස සංක්‍රමණයට බලාපොරොත්තුවෙන් සිටීම යනු බුද්ධි ගලනයේ පෙරනිමිති ය. බුද්ධිමතුන්, හා වෘත්තිකයන් රට හැර යාමෙන් පැහැදිලිවම රජය සමාජ අර්බුදයකට තල්ලු වීමක් සිදුවේ. එය ආර්ථිකයට ද බලපෑමකි.

මෙලෙස වෙනත් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින අයගෙන් පිරිමින් 20%ක් හා කාන්තාවෝ 12%ක් මේ වන විටත් සංක්‍රමණය වීමට සූදානම් වෙමින් සිටිති. සංක්‍රමණය වීමට සැලසුම් කරන ප්‍රමාණය පිරිමි 24%ක් හා කාන්තාවෝ 22%ක් සිටිති.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පෙන්වා දෙන්නේ පසුගිය වසර 3-5 ඇතුළත කාලයට වඩා මේ වන විට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දෙගුණයක් පමණ වී ඇති බවයි.

සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසගෙන් මේ වන විටත් යාමට සූදානම් වෙමින් සිටින අයගෙන් 29%ක්ම උපාධිය හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් වේ.

මෙම සමීක්ෂණයෙන් පෙන්වා දෙන විශේෂිතම කරුණ වන්නේ පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ, දැනට ඒ සම්බන්ධයෙන් කළකිරී සිටින බහුතරයක් ඡන්දදායකයන් එලෙස සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

දැනට විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ම අප ඊට අදාළ හේතු විමසා සිටියෙමු. තරුණ පිරිස්වල වැඩි අදහස් වන්නේ ආනයන සීමා කිරීම් හා භාණ්ඩ මිල අධික වීමත් සමග තමාට අවශ්‍ය ජීවිතය මෙරටදී ගතකිරීමට නොලැබෙන බැවින් ඔවුන් විදෙස්ගත වීමට බලාපොරොත්තු වන බවයි. දැනට පෞද්ගලික ආයතනයකක ගණකාධිකරණ නිලධාරියෙකු වශයෙන් සේවය කරන අයෙක් අප සමග මෙලෙස අදහස් පළකළේ ය.

”මම විවාහ වුණේ මීට වසර දෙකකට පෙර. දැන් අපට දරුවෙක් ඉන්නවා. මම සහ මගේ බිරිඳ උපාධිධාරීන් වගේම අපට වෙනත් වෘත්තීය සුදුසුකම් සපුරලා තියෙනවා. මේ වෙනකොට අපි ජීවත් වීමට සුදුසු පරිසරයක් සහිත රටකට පදිංචියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ රට දැන් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි. අත්‍යවශ්‍ය බඩුවක්වත් ගන්න විදිහක් නෑ. අනෙක් අතට භාණ්ඩ ගොඩක් ආනයනය කරන එක නවත්වලා තියෙනවා. මේ අර්බුදයෙන් ළඟකදී නම් ලංකාවට ගොඩ එන්න ලැබෙන්නේ නෑ. අපි වෙනත් රටකට ගියාට පස්සෙ අඩුගානෙ අපට අවශ්‍ය භාණ්ඩයක්වත් සල්ලි දීලා ගන්න නිදහසක් ලැබෙයිනෙ. දැන් එහෙම යනවා හැර වෙන විකල්පයක් නෑ පේන තෙක් මානයක”

මෙලෙස ලාංකිකයන් විදෙස්ගත වීමේ හා වෙනත් රටවලට සංක්‍රමණය වීම පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මුහුණු පොතේ සටහනක් තබා තිබූ අතර එහි උපුටා ගැනීමක් පහතින් දැක්වේ.

”මෑතක දී මට මගේ යාළුවෙක් සංක්‍රමණ සම්බන්ධ උපදේශන සේවාවකට අදාළ දැන්වීමක් පෙන්නුවා. දැන්වීමේ සරලව සඳහන් වුණේ, ”ඔබට කැනඩාවට සංක්‍රමණය කරන්න හේතු මිලියන 6.9ක් අපි සතුව තිබෙනවා” යන්නයි. මේක කෙතරම් දරුණු ප්‍රකාශයක් ද කියලා මට හිතුණා. නමුත් ඇත්තටම මේ ප්‍රකාශයෙන් පිළිබිඹු වෙන්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් යම් වෙනසකට ලක් වී ඇති ආකාරයයි. විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට ඇති ඉතා දිගු පෝලිම්වල පින්තූර අපිට මෑතක දී දැක ගන්නට ලැබුණා. රටින් පිටවීම සඳහා විමසීම් හා අයැදුම්පත් ප්‍රමාණයේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන බව සංක්‍රමණ උපදේශකවරු වාර්තා කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල මාගේ මිත්‍රයන් පවසන්නේ විදෙස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපන අවස්ථා සොයන සහ විදෙස් රැකියාවලට යන ශිෂ්‍යයන් වෙනුවෙන් ඔවුන් ලියා දෙන යොමු ලිපි (රෙෆරන්ස් ලෙටර්ස්) ගණනේ ද විශාල වැඩි වීමක් දක්නට ලැබෙන බව යි. මේ සෑම දෙයකින් ම පෙන්නුම් කරන්නේ විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර මේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු විරහිත ස්වභාවයක් සහ අපේක්ෂාභංගත්වයක් ඇති වී ඇති බව යි.

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ව්‍යාපාරවලදී පොදුජන පෙරමුණට ලබා දුන් දැවැන්ත සහයෝගයට සහ ඉන් පසුව රට පුරා පැතිරුණු විශාල උද්යෝගයට දැඩි ප්‍රතිවිරුද්ධතාවක් මේ තත්වයෙන් සනිටුහන් කරනවා. මුළු රට ම මේ මොහොතේ මුහුණ පා ඇති සියලු ප්‍රශ්න කොවිඩ්-19 පිට පටවන්න ආණ්ඩුව කැමති වුවත්, එය ඇත්ත නොවෙයි. ගොවි සටනවත් ගුරු සටනවත් කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූවක් නොව, පළමුවැන්න මෝඩ ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් වන අතර දෙවැන්න ආණ්ඩුව විසින් වෘත්තිය සමිති ක්‍රියාකාරකම්වලට කරන ලද ද්වේෂසහගත සහ අදක්ෂ ප්‍රතිචාර නිසා තවත් ඉස්මතු වුණු වසර ගණනාවක් තිස්සේ නොසලකා හැර ඇති ගැටලුවක ප්‍රතිඵලයයි.

විදෙස් ගමන් බලපත්‍ර කාර්යාලය පිටත ඇති දිගු පෝලිම් එක් තනි ප්‍රශ්නයක ප්‍රතිඵලයක් නොවේ. රට මුහුණ දී ඇති බහුවිධ අර්බුදවලට විසඳුම් සෙවීමට මෙරට දේශපාලන නායකත්වය සතු හැකියාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති වීම මේ පෝලිම් පිටුපස ඇති ප්‍රධාන හේතුවකි. සංක්‍රමණය වෙන්න තීරණය කරලා තියෙන බහුතරයක් දෙනා අරන් තියෙන්නේ අවිනිශ්චිත අවදානම් පියවරක්. බහුතරයක් දෙනා සංක්‍රමණය වන්නේ රැකියා තත්ත්වය, ආරක්ෂාව හෝ උදව් උපකාර පිළිබඳ කිසිදු සහතිකයක් නොමැතිවයි. අද ලෝකය පුරා සංක්‍රමණ-විරෝධී හැඟීම් ප්‍රබල වෙලා තියෙනවා. තනියම නොදන්න රටක මෙවැනි අවදානම් තත්ත්වවලට දැන දැනම මුහුණදීමට මිනිස්සු තවමත් සැදී පැහැදී සිටීම ම රට පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ මෙතෙක් ගොඩ නැගී තිබූ මුලාව පිළිබඳව හොඳින් පැහැදිලි කරනවා.”

අමන්දිකා කුරේ (අනිද්දා)