නීති විරෝධි අයුරින් කුවේට්හි රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 33ක් දිවයිනට ගෙන්වා ගැනේ

නීති විරෝධි අයුරින් කුවේට්හි රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 33ක් දිවයිනට ගෙන්වා ගැනේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව එරට රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 33කු අද දින (2023.09.19) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් මගින් දිවයිනට ගෙන්වා ගන්නා ලදී. 

මෙම පිරිසට කාන්තාවන් තිස් දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් තිදෙනෙකු අයත්වේ. මොවුන් වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැදී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පිරිසකි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් දිවයිනට පැමිණීමට නොහැකිව සුරක්ෂා නිවාසවල රැදී සිටින ශ්‍රමිකයින් හැකි ඉක්මණින් යළි මෙරටට එවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා විසින් තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශයන්හි නිළධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, ඔවුන් කුවේට් තානාපති කාර්යාලයේ ලියාපදිංචිවීමෙන් පසු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කඩිනමින් දිවයිනට එවීමට කුවේට් තානාපති කාර්යාලයේ නිළධාරීන් කටයුතු කර ඇත.