ඉන්දියාවේදී "තක් තක්" වුණු ලාංකිකයින් 4ක් මාට්ටු

ඉන්දියාවේදී "තක් තක්" වුණු ලාංකිකයින් 4ක් මාට්ටු
දකුණු ඉන්දියාව තුළ මුදල් ඇතුළු විවිධ සොරකම්වල නිරත වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
"තක් තක්" නම් කල්ලියක් ලෙස ක්‍රියාත්මක වෙමින් අදාළ පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද ඉන්දීය රුපියල් ලක්ෂ 46කට අධික මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
 
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
 
පසුගිය දෙසැම්බර් 29 වන දින ආපන ශාලාවක් අසල නවතා තිබු මෝටර් රථයක වීදුරුවක් කඩා ඉන්දීය රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිල්ලි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
 
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ සොරකම සඳහා සහභාගී වු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දිල්ලි සහ වෙනත් ප්‍රදේශවල තාවකාලික පැල්පත්වල ජීවත් වන පිරිසක් වන අතර ඔවුන් මීට පෙර ද ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ වී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
 
එම සැකකරුවන් සතුව තිබී ගිනි අවියක් ද සොයාගෙන ඇති අතර ඔවුන් 12 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත්කර තිබේ.