ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ

ප්‍රංශයට ගිය ලාංකිකයින් 46ක් පිටුවහල් කෙරේ

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් "රී යූනියන්" දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.

13 වෙන් දින ගුවන් මගින් මෙරටට පිටුවහල් කළ අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව නාවික හමුදාව පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 2 වනදා බහුදින ධීවර යාත්‍රාවක් මගින් මීගමුව ප්‍රදේශයෙන් නීතිවිරෝධීව සංක්‍රමණය කර තිබූ මෙම පිරිස යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හලාවත සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබුණි.

දෙහිවල ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 සිට මේ සඳහා මුදල් අය කරගෙන ඇති බවට ද අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි.

ඔවුන් දෙසැම්බර් මස 24 වනදා "රී යූනියන්" දූපතට ඇතුළු වීමේදී එහි බලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර නීතිවිරෝධීව සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව 2022 වසරේ සිදුකළ මෙහෙයුම්වලදී යාත්‍රා 42ක් සහ පුද්ගලයින් 1,532දෙනෙකු සිය භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

2022 වසර තුළ සිදුකළ වැටලීම් හා සමුද්‍රීය මෙහෙයුම් මගින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී භාණ්ඩ ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 486 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් 2022 වසරේ දී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 1,363ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 148ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 5,731ක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් 336 දෙනෙකු සහ විදෙස් ජාතිකයින් 21 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
මීට අමතරව නීති විරෝධී මත්පැන් හා දුම්වැටි සමග සැකකරුවන් 37දෙනෙකු ද 2022 වසරේදී නීතියේ රැහැනට හසුකරගැනීමට නාවික හමුදාව සමත්වී තිබේ.

පසුගිය වසරේදී නීතිවිරෝධී ලෙස විදේශයන් වෙතින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට තැත්කළ කහ, එනසාල්, රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක, රූපලාවන්‍ය භාණ්ඩ සමග ද විදෙස් ජාතිකයින් 8දෙනෙකු ඇතුළු සැකකරුවන් 53 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.