ශ්‍රී ලංකාවෙන් ඉතියෝපියාවට රැකියා 5000ක් !

ශ්‍රී ලංකාවෙන් ඉතියෝපියාවට රැකියා 5000ක් !
රජයේ වර්තමාන ප්‍රතිපත්තියට අනුකූලව,අප්‍රිකානු කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ඉතියෝපියාව සමග පැවැති  අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය සාකච්ඡාවේදී විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බී කාන්දීපන් මහතා පසුගියදා ප්‍රකාශ කරන ලදී.
 
ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික උපදේශන පවත්වන ලද්දේ පළමු වරටය. මෙම උපදේශන කටයුතු දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා යොමු විය. විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීපන් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් අතර, ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අස්ෆව් මොලලින් මහතා එම පාර්ශවය මෙහෙයවීය.
 
ඇමරිකානු ඩොලර් මිලියන 15 කට වැඩි ආයෝජනයක් සහිතව ඉතියෝපියානු ජාතිකයින් 5,000 කට වැඩි පිරිසකට රැකියා සපයන ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදන සමාගම් 3 ක් සහ රසායනික නිෂ්පාදන සමාගම් 1ක් ඉතියෝපියාවේ ක්‍රියාත්මක වන බව සාකච්ඡාවේ දී සඳහන් විය. කෘෂි සැකසුම්, ජල විදුලි උත්පාදනය සහ ඇඟලුම් හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැනි වෙනත් අංශවල ශ්‍රී ලංකා සමාගම් සඳහා තවදුරටත් ආයෝජනය කිරීමේ හැකියාව පවතින බව තවදුරටත් සඳහන් කරන ලදි. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් 400කට අධික සංඛ්‍යාවක් දැනට ඉතියෝපියාවේ ආගන්තුක සත්කාර හා ඇඟලුම් නිෂ්පාදන අංශවල සේවය කරන බවත්, ඉතියෝපියාවේ පෞද්ගලික අංශයේ සමාගම්වල ශ්‍රී ලාංකිකයින් සඳහා නිපුණ රැකියා සඳහා අවස්ථා පවතින බවත් මෙහි දී අනාවරණය විය.
 
ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු කිරීම කෙරෙහි ද සාකච්ඡාවල දී අවධානය යොමු විය. පසුගිය වසරේ දෙරට අතර සමස්ත වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 37 ක් විය. ශ්‍රී ලංකාවෙන් ඉතියෝපියාවට කරන ලද අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 36.83 කි. ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් වූ අතර, මේ සම්බන්ධයෙන් අධ්‍යයන සිදු කිරීම සඳහා දෙරටේ වාණිජ මණ්ඩල එකඟ විය.
 
අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම  සඳහා ඉතියෝපියාව දැඩි උනන්දුවක් දැක්වීය. පරිසරය සහ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සහ අප්‍රිකානු සංගමය හරහා සහයෝගීතාව තීව්‍ර කිරීම ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර බහුපාර්ශ්වික මට්ටමින් සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරන ලදි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 50 වැනි සංවත්සරය ලබන වසරේ දී සුදුසු පරිදි සැමරීමට දෙරට එකඟ විය.
 
මෙම රැස්වීම සඳහා ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සුගීෂ්වර ගුණරත්න මහතා සහ විදේශ අමාත්‍යාංශයේ හා වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.