නීති විරෝධීව රට පනින්න ගිය 67ක් මාට්ටු

නීති විරෝධීව රට පනින්න ගිය 67ක් මාට්ටු

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු සහ බහුදින යාත්‍රාවක් නැගෙනහිර මුහුදේ කල්මුණේ ප්‍රදේශයේදී ඊයේ (8) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී අද අළුයම සිදුකළ මුර සංචාරයකදී යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කළ බවත්, එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ සිටි නීති විරෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් 06 දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයන් 53 ක්, කාන්තාවන් 6 ක් සහ ළමුන් 8 ක් ඇතුළු පුද්ගලයින් 67 දෙනෙකු තම බාරයට ගත් බවත්, නාවික හමුදාව නිවේදනය කරයි.

මෙලෙස නාවික හමුදාව බාරයට ගත් පිරිස වයස අවුරුද්දත් 56 ත් අතර පසුවන මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රීකුණාමලය සහ මඩකළපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් බව කී නාවික හමුදාව එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලිසියට බාරදීමට නියමිත බව ද සඳහන් කරයි.