මෙම වසර රට විරුවන්ගෙන් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 9ක බලාපොරොත්තුවක්

US-Doller-$

2026 වර්ශය අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

2026 මුල් මාස හතරේදී විගමණික ශ්‍රමික ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර් බිලියන 3.06 ක අගයක් වාර්තා වන අතර එම අගය පුරෝකතනය කරමින් මේ බව සදහන් කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (5/25) කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ මෙරටට ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ලැබී ඇත්තේ 2025 වර්ෂයේදී වන අතර, එම වර්ෂයේ මුල් මාස 4දී උපයා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 2.4 ක් ප්‍රේෂණ ප්‍රමාණය අභිබවා 2026 වර්ෂයේ මුල් මාස 4දී ඇමරිකානු ඩොලර් බිලියන 3.06 ක් මෙරටට ලැබී තිබේ. එම වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම වසර අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවූ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මැද පෙරදිග කලාපයේ යුධමය වාතාවරණයක් පැවතියද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙසේ ඉහළ යාමට ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම,  නව රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙරට විදෙස් රැකියා ක්ෂේත්‍රයට කීර්තියක් අත්වීම සහ ශ්‍රමිකයන්ට විවිධ වූ සුභසාධන පහසුකම් ලබාදීම වැනි හේතූන් උපකාරී වූ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.