දෙස් හා විදෙස් සියලුදෙනාගේම ඡන්ද අයිතිය සුරුකීමට කටයුතු කරන්න - PAFFERL

PAFFERL-wedabima

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ක්‍රමවේදයක් සැකසීම පිණිස අදහස් හා යෝජනා කැඳවීම සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය (PAFFERL) විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යවා මැතිවරණ/ඡන්ද විමසීම් දින ඡන්ද පොලට යාමට නොහැකි දෙස් විදෙස් ඡන්ද දායකයින්ගේ අයිතිය වෙනුවෙන් එය සාර්ථක කරගැනීම සඳහා වත්මන් රාජ්‍ය පාලන කාලය තුළ හෝ මැතිවරණ/ඡන්ද විමසීම් වලදී ඡන්ද පොලට යාමට නොහැකි ලක්ෂ සංඛ්‍යාත ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

බොහෝ කාලයක් සමාජය තුළ සංවාදයට බඳුන් වූ එමෙන්ම පසුගිය ආණ්ඩු 3 ක පාලන කාලයක් තුළ කැබිනට් අනුමැතිය ලැබී නීති කෙටුම්පතක් දෙපාර්තමේන්තුව දක්වා යොමු වූවද අවාසනාවකට මෙන් යථාර්තයක් නොවූ    රටට විදෙස් විනිමය උපයන ලක්ෂ 30 කට ආසන්න වෙතැයි කියවෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා කමිටුවක් පත්කිරීම පිළිබඳව පැෆ්රල් සංවිධානයේ ප්‍රසාදය පලකරමු.

විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම නීතිඥයෙකු වන අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කිරීම පිළිබඳවද අපට ඇත්තේ ඉතා සුබවාදී අදහසක් බවද මෙහිලා සඳහන් කල යුතුය.

කෙසේ නමුත් දශක දෙකකට අධික කාලයක සිට විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය යථාර්තයක් කිරීම වෙනුවෙන් පෙනී සිටි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස මතු දැක්වෙන යෝජනා පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

1. විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන අතර දැනට ලංකාව තුළ ජීවත් වන නමුත් විවිධ හේතු නිසා මැතිවරණ/ඡන්ද විමසීම් පවත්වන දිනට ඡන්ද පොලට යාමට නොහැකි ලක්ෂ 10 කට ආසන්න ඡන්දහිමියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට වැඩපිලිවෙලක් මේ හා සමාන්තරවම සැකසීම.

විශේෂයෙන්ම ආරම්භයක් ලෙස දැනට ලංකාව තුල සිටින නමුත් මැතිවරණ/ඡන්ද විමසීම් වලදී ඡන්ද පොලට යාමට නොහැකි පුද්ගලයින්ගෙන් මෙකී ක්‍රියාවලියේ ආරම්භ කිරීමෙන් මතු වන ගැටලු වලට විසදුම් ලබා දෙමින් විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම දක්වා පුලුල් කරමින් වඩා සාධාරණ හා කාර්යක්ෂම ක්‍රමවේදයක් නිර්මාණය කරගත හැකි බව අපගේ අදහසයි.

2. අදාල පුවත්පත් නිවේදනයේ සඳහන්ව ඇත්තේ උනන්දුවක් දක්වන පුද්ගලයින් හට 2026 පෙබරවාරි 15 දිනට ප්‍රථම අදාල කමිටුව වෙත තම අදහස් හා යෝජනා ලබාදිය හැකි බවයි. නමුත් අපගේ යෝජනාව වන්නේ උනන්දුවක් දක්වන පුද්ගලයෙකු හෝ සංවිධානයකට කමිටුව හමුවට පැමිණ තම අදහස් හා යෝජනා ලබාදීම.

3. 2026 වසර තුළ මෙකී පිරිසගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට ක්‍රමවේදයක් සකස් කලහොත් ආසන්නයේ පවත්වනු ලබන මැතිවරණයකදී මෙම ක්‍රමවේදය අභ්‍යාස කිරීම සඳහා හැකියාව ලැබෙනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු.

මැතිවරණ/ඡන්ද විමසීම් දින ඡන්ද පොලට යාමට නොහැකි දෙස් විදෙස් ඡන්ද දායකයින්ගේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අපගේ උපරිම සහයෝගය ලබාදෙන බව සඳහන් කරන අතර වත්මන් රාජ්‍ය පාලන කාලය තුළ හෝ මැතිවරණ/ඡන්ද විමසීම් වලදී ඡන්ද පොලට යාමට නොහැකි ලක්ෂ සංඛ්‍යාත ඡන්ද හිමියන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු.