විදේස්ගත ශ්‍රමිකයින් හා සංචාරකයින් ගෙන්වා ගැනීමට දෛනික PCR පරීක්ෂණ වැඩි කිරීමට තීරණයක්

විදේස්ගත ශ්‍රමිකයින් හා සංචාරකයින් ගෙන්වා ගැනීමට දෛනික PCR පරීක්ෂණ වැඩි කිරීමට තීරණයක්

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් හා සංචාරකයන් ඉදිරියේදී වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා දැනට සිදුකෙරෙන පී.සී.ආර්.පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර ගතයුතු බවයි.

කොවිඩ් ආසාධිතයන් හඳුනාගැනීම සඳහා මෙරට දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමටත්, මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් ආසාධිත නොවන බව තහවුරු කරගැනීම සඳහාත් මෙම පියවර ගැනෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සංචාරක අමාත්‍යංශයේ (29) දින පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹින.මෙම සාකච්ඡාවට සංචාරක සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව හා පෞද්ගලික රෝහල් නියෝජිතයෝ සහභාගී වූහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් හා සංචාරකයන් ඉදිරියේදී වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා දැනට සිදුකෙරෙන පී.සී.ආර්.පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකර ගතයුතු බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මේ වනවිට දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණ 15000ක් පමණ සිදු කරනු ලබයි. පෞද්ගලික අංශ මඟින් දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 2500ත් 3000ත් අතර සංඛ්‍යාවක් සිදු කරනු ලබයි.

ලබන මස අගදී නිල වශයෙන් ගුවන්තොටුපල විවෘත කර වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බැවින් මෙරට සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කල යුතු යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා සහ සංචාරකයන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 3000බැගින් වැඩි කිරීමට මෙහිදී තීරණය කෙරිණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කලේ මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා මෙහිදි ප්‍රමුඛතාව හිමි විය යුතු බවයි. රජයේ ප්‍රමුඛතම අවධානය යොමුවන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට බවත් ඔවුන් ගෙන්වන අතරම කඩාවැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත් ඇමතිවරයා කීවේය.

මේ අතර (28) දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි සංචාරකයින් 180 දෙනාගේම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බව මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කලහ. මේ වනවිට කොග්ගල හා බෙන්තොට ප්‍රදේශ වල හෝටල් කීපයක ලැඟුම් ගෙන සිටින මේ පිරිස ඉදිරියේදී තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

මේ අතර යුක්රේනයේ කිවි නුවර සිට තවත් යුක්රේන සංචාරකයන් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අද (29) දහවල් 12.08ට මෙම කණ්ඩායම මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියහ. යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් Ps 6385 ගුවන් යානයෙන් සංචාරකයන් 204දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙක් දිවයිනට පැමිණියහ.