මම මිනිස් ජාවාරමක" ගොදුරක් (VIDEO)

මිට දශක තුනකට ඉහතදී නොර්විජියානු යුවලක් විසින් දරුකමට හදාගැනීම පිණිස නිත්‍යානුකූලව

ප්‍රියංගිකා සමන්ති භාරගන්නා විට ඇය හත් මස් වියැති බිලිඳියකි.

කොළඹ Salvation Army අනාථ නිවාසයේ බලධාරීන් ප්‍රියංගිකා නොර්වීජියානු යුවලට භාරදුන්නේ ඒ සඳහා අධිකරණ නියෝගයක් ද ලබාගෙන අවශ්‍ය සියලු ලිපි ලේඛන "නීත්‍යානුකූලව" සකස් කර දීමෙන් අනතුරුවය.

අඩුම තරමින් ඒ සියලු කටයුතු ශ්‍රී ලංකාවේ නිතිය ප්‍රකාර සිදු වූ බව ඔවුහු විශ්වාස කළහ.

ඒ අතර නෝර්වීජියානු දෙමාපියන් සෙවනේ හැදී වැඩුණු ප්‍රියංගිකා, කුමන හෝ හේතුවක් නිසා ළමා වියේ සිටම විශ්වාස කළේ බිලිඳියකව සිටියදී කවුරුන් විසින් හෝ ඇය පැහැරගනු ලැබ ඇති බවකි.

යුරෝපා රටක සැප සම්පත් සහිතව හැදී වැඩුණ ද, කුඩා කල සිටම ඇයට තමන් මෙලොවට බිහි කළ මව නොමැතිවීමේ කාංසාවක් දැනෙන්නට විය. හත් හැවිරිදි වියේදීම සිය සැබෑ මව සොයාගත යුතු යයි ඇය තීරණය කළේ එබැවිනි.

එහෙත් නෝර්වේ රාජ්‍යයේ නීතිය ප්‍රකාර එතරම් බාල වියකදී දරුවෙකු යළිත් සිය දෙමාපියන් සොයා යා නොහැකිය. ඒ සඳහා දරුවෙකුට උපකාර කිරීමට ද නීතියෙන් අවකාශ නැත.

එබැවින් පහළොස් විය සපිරෙන තුරු ඇයට සිය උත්සාහය කල් දැමීමට සිදුවිය.

ඒ අතර දස මසක් කුස දරා තමන් මෙලොවට බිහි කොට, මවු කිරි දෙමින් මවගෙන් තමන් ඈත් කිරීමට ලෝකය කුරිරු වූයේ මන්දැයි සිතමින තැවුණ ඇය කලක් මානසික ආතතියෙන් (depression) ද පෙළුණාය.

අවකාශ ලද පළමු මොහොතේම මව සොයා යාමේ ප්‍රයත්නය යළි ආරම්භ කළ සමන්තිට එහිදී දැනගන්නට ලැබුණ දෙයින් විශ්මය පත්වූවාය.

ඒ Salvation Army ළමා නිවාසයේ නිලධාරීන් තමන් හදාවඩාගත් දෙමාපියන්ට දී තිබුණ සියලු ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවය. තමන් විදේශ රටකට භාරදීමට සිය මව කිසි දිනෙක අනුමැතිය දී නොමැති බවත්, එමෙන්ම අධිකරණ නියෝගයක් ලෙස පවසමින් ළමා නිවාස බලධාරීන් දුන් ලිපිය ව්‍යාජ ලේඛනයක් බවත් ඇය සොයා ගත්තාය.

අවසානයේ ඇය සිය මව හමු වූ මොහොතේ දැනගන්නට ලැබුණ දෙයින් මව වික්ෂිප්ත වූ බව ප්‍රියංගිකා මා සමග කියා සිටියාය.

මේ සියල්ල හමුවේ මව හමු වූ අවස්තාව ද ප්‍රීතිජනක මොහොතක් නොවූ බවද ප්‍රියංගිකා සමන්ති සඳහන් කළේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමිනි.

දශක තුනකට අනතුරුව, තමන් "මිනිස් ජාවාරමක" ගොදුරක් වූ බව පවසමින් ඇය පසුගියදා පොලිස් අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් ගොනු කළාය.

ඉන් අනතුරුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ද පැමිණිල්ලක් ගොනු කළ ප්‍රියංගිකා සමන්ති යළි නෝර්වේ රාජ්‍යය බලා ගියේ නීති විරෝධී ළමා ජාවාරම සම්බන්ධයෙන් නෝර්වේ පාර්ලිමේන්තුව හමුවේ ද කරුණු දැක්වීමේ බලාපොරොත්තුවෙනි.

යුරෝපයේ තමන්ට පහසු ජිවිතයක් තිබුණ ද දිගටම යුරෝපයේ වාසය කිරීමට සිය බලාපොරොත්තුවක් නොමැති බව ද ඇය පවසන්නීය. 

නීති විරෝධී මිනිස් ජාවාරමට එරෙහිව යුරෝපය තුළ සහ ශ්‍රී ලංකාවේ ඇය ගෙන යන සටන පිළිබඳව ඉදිරියටත් විස්තර ගෙන ඒමට "සරෝජ් සමග සංදේශය" යූටියුබ් නාලිකාව බලාපොරොත්තු වේ.

(leader)