පඩිපාලක සභාවකින් ඔබේ වැටුප් හා නිවාඩු තීරණය කරන ආකාරය ගැන දැනගන්න

පඩිපාලක සභාවකින් ඔබේ වැටුප් හා නිවාඩු තීරණය කරන ආකාරය ගැන දැනගන්න

01 ගැටළුව:

ස්ත්‍රීන් ,තරුණයින් සහ ළමුන් සේවයේ යෙදවීමේ පණතේ අරමුණ කුමක්ද?

පිළිතුර :

යම්කිසි ආයතනයක ස්ත්‍රීන්, තරුණයින් සහ ළමුන් සේවයේ යොදවාගෙන යම්කිසි ව්‍යාපාරයක් කරන්නේ නම් ඔවුන්ව සේවයේ යෙදවීමට අදාල කාල වේලාවන් විධිමත් කිරීමට හා ඔවුන්ගේ සෞඛ්‍ය සුබ සාධනයට අහිතකර වන පරිදි සේවාවන්හි යෙදවීම වැළැක්වීම මෙහි මුලික අරමුණ වේ.

තවද මෙම පණත යටතේ තරුණයෙකු යනු අවුරුදු 14 සිට 18 දක්වා වයස් මට්ටමේ ළමයින්ය.මෙකී වයස් කාණ්ඩවලට ගැනෙන තරුණ සේවකයින් නැවතත් වයස අවුරුදු 14 සිට 16 දක්වා වූ වයස්වල තරුණයින් සහ අවුරුදු 16 සිට 18 දක්වා වූ තරුණයින් යනුවෙන් තරුණ අවධිය කොටස් දෙකකට  වැටේ.

මෙම පණත යටතේ ළමයා වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ ගැහැණු පිරිමි භේදයකින් තොරව අවුරුදු 14ට අඩු ළමයින්ය. ඒ අනුව අවුරුදු 14ට අඩු කිසිම ළමයෙකු සේවයක යෙදවීම තහනම් කර ඇත.  නමුත් මෙකී වයස් සීමාව  2020/09/18 ගැසට් නිවේදනයක් මඟින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ළමුන් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16ක් දක්වා සංශෝධයන කර ඇත. මින් ඉදිරියට ළමයි සේවයේ යෙදවීමේ වයස අවුරුදු 14 නොව අවුරුදු 16 දක්වා වැඩිකර ඇත.

02 ගැටළුව:

පඩිපාලක සභාවක් යනු කුමක්ද?

පිළිතුර :

පඩිපාලක සභාවක් යනු රට පුරා විහිදී ඇති හෝ රටේ එක්තරා ප්‍රදේශයකට සීමා වී ඇති විශාල වශයෙන් සේවකයින් සේවයේ යෙදී සිටින කිසියම් කර්මාන්තයක හෝ සේවාවක සේවය කරන සේවක සේවිකාවන් සඳහා එම ආයතනයේ අයිතිකරුට හෝ හිමිකරුවාට කැමති ආකාරයට වැටුප් ගෙවීම,නිවාඩු දීම ආදිය වෙනුවෙන් ලංකාව පුරාම එකී කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන් සඳහා පොදු වැටුප් ක්‍රමයක්,නිවාඩු ක්‍රමයක් හා සේවක වර්ගීකරණයක් ඇති කිරීම සඳහා පිහිටුවන ලද සභාවකටය.

මෙවැනි නිශ්චිත කර්මාන්තයක් දීපව්‍යාප්තව පැතිරෙන විට හා විශාල සේවක පිරිසක් සේවයේ  යෙදෙන බවට තොරතුරු ලද විට ඒ සඳහා පඩිපාලක සභාවක් පිහිටුවිය යුතු බවට කෙරෙන ඉල්ලීම මත හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිර්දේශ මත කම්කරු ඇමතිවරයා විසින් කර්මාන්ත සඳහා පඩිපාලක සභාවක් පිහිටුවීමට කටයුතු කරනු ඇත.

03 ගැටළුව:

පඩිපාලක සභාවක සංයුතිය කෙසේද?

පිළිතුර :

මෙම පඩිපාලක සභාව ත්‍රෛපාර්ෂවීය නියෝජනයක් නැතහොත් පාර්ශව 03ක් නියෝජනය වේ. ඒ අනුව එකී කර්මාන්තයේ යෙදී සිටින හාම්පුතුන් සංඛ්‍යාවක්ද, ඊට සමාන වෘත්තීය සමිති හෝ සේවක නියෝජිතයින් සංඛ්‍යාවක්ද රජයේ පාර්ශවයෙන් නියෝජිතයෙක්ද සහිතව මෙම සභාව සමන්විත වේ.‍

දැනට පඩිපාලක සභා 45කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇත. ඒවා වැවිලි, නිෂ්පාදන සේවා වශයෙන්ද වැටුප් ගෙවීමේ ක්‍රමය දෛනික වැටුප්,මාසික වැටුප්, කෑලි මිම්මේ,කාල මිම්මේ වැටුප් වශයෙන්ද වර්ග කර ඇත.

04 ගැටළුව:

පඩිපාලක සභාවක් පිහිටුවා ඇති කර්මාන්තයක හෝ සභාවක් පිහිටුවා නැති කර්මාන්තයක සේවක වැටුප් තීරණය කරන්නේ කෙසේද?

පිළිතුර :

පඩිපාලක සභාවක් පිහිටුවා ඇති කර්මාන්තයක එකී පඩිපාලක සභාව මගින් වැටුප් තීරණය කරයි. නමුත් පඩිපාලක සභාව තීරණය කරන්නේ අවම වැටුපක් මිස උපරිම වැටුපක් නොවේ. එම අවම වැටුප අනිවර්යෙන් ගෙවිය යුතු අතර ඊට වැඩියෙන් වැටුප් ගෙවිය හැකිය.

තවද අවම වැටුපට අමතරව අයවැය දීමනා ගෙවිය යුතුය. සමහර කර්මාන්තවල සේවය කරන සේවක සේවිකාව්න්ට පැමිණීමේ දිරි දීමනා ,නිෂ්පාදන දිරි දීමනා ලබාදෙන අවස්ථාද ඇත.

සේවක වැටුප් ගෙවීමේදී සති වැටුප් ගෙවන්නේ නම් සතිය නිමවී දින 03ක් ඇතුළතද, දෙසති වැටුප් ගෙවන්නේ නම් දෙසතිය පසුවී දින 05ක් ඇතුළතද, මාසික වැටුප් ගෙවන්නේ නම් මාසය ඉකුත්වී දින 10ක් ඇතුළතද වැටුප් ගෙවීමට සේවායෝජකයා බැඳී ඇත. තවද සමහර ආයතනවල මාසයේ 20 දින හෝ 25 දින වැටුප් ගෙවන අවස්ථා ඇත.

මෙහි නීතිමය වරදක් නැතත් පරිපාලනමය වරදක් ඇත. එනම් සේවක අර්ථසාධක අරමුදලට මුදල් යැවිය යුත්තේ ලිත් මාස ක්‍රමයට බැවිනි.