කාන්තා සේවිකාවන්ගේ ප්‍රසූතිකාධාර හිමිකම් ගැන දැනගමු

කාන්තා සේවිකාවන්ගේ ප්‍රසූතිකාධාර හිමිකම් ගැන දැනගමු

01 ගැටළුව :

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පණතින් ආවරණය වන්නේ කවුරුන්ද?

පිළිතුර:

මෙහිදී යම් ආයතනයක හෝ වත්තක සේවයට බඳවාගත් ස්ත්‍රී සේවිකාවන්ගේ දරු ප්‍රසූතිවලදී නිවාඩු ලබාදීම, වැටුප් ගෙවන ආකාරය, එලෙසම දරු ප්‍රසූතියට පෙර හා පසුව ඔවුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසිවලට අනුව කටයුතු කිරීමට සේවා යෝජකයා බැඳී සිටියි.

මේ පණත පැනවීමේ අරමුණ වූයේ පෞද්ගලික අංශයේ ආයතනවල සහ වතුවල සේවය කරන ස්ත්‍රී සේවිකාවන්ගේ දරු ප්‍රසූතියකදී වැටුප් සහිත නිවාඩු පහසුකම් ලබාදීමත් ප්‍රසූතියට පෙර හා පසුව ඔවුන් සේවයේ යෙදීම සම්බන්ධයෙන් යම්කිසි කොන්දේසි පැනවීමත්ය.

 02 ගැටළුව:

ප්‍රසූතිකාධාර ආඥා පණත මඟින් ආවරණය නොවෙන සේවිකාවන් කවුරුන්ද?

පිළිතුර:

  1. සාප්පු කා කාර්යාල පණත යටතේ ආවරණය වන සේවිකාවන්
  2. බාල අපරාධකරුවන්ට, අනාථවූවන්ට, අඳ ගොළු බිහිරි අයට කාර්මික පුහුණුව දෙන ආයතනවල සේවිකාව මෙම පණත යටතේ ප්‍රතිපාදන නොලබයි.

03 ගැටළුව:

ප්‍රසූතිකාධාර ආඥා පණත යටතේ ප්‍රසූතිකාධාර ලැබීමට ස්ත්‍රී සේවිකාවක් කොපමණ කාලයක් සේවය කර තිබිය යුතුද? සහ සේවිකාව නීත්‍යානුකූලව විවාහ වී සිටිය යුතුද?

පිළිතුර :

මෙම පණත යටතේ පහසුකම් ලැබිමට එක් දිනක් සේවය කර තිබීම වුවද ප්‍රමාණවත්ය.

තවද නීත්‍යානුකූලව විවාහ වී තිබීම අත්‍යාවශ්‍ය නොවේ.විවාහ වී නැතත් දරු ප්‍රසූතියක් සිදුවී  ඇත්නම් ඇයට හිමි වරප්‍රසාද ලබාදිය යුතුය. එනම් මෙම ප්‍රතිලාභ ලබා දීමට විවාහ සහතිකයද අත්‍යාවශ්‍ය නොවේ.

04. ගැටළුව:

ප්‍රසූතිකාධාර ලෙස ලබාදිය යුතු නිවාඩු හා වැටුප් කොපමණද?

පිළිතුර :

සේවිකාවගේ සජීවී මුල් දරුවන් දෙදෙනෙකු සඳහා දින 84ක් හෙවත් සති 12ක නිවාඩු ලබාදීමට මුල් පණත මඟින් බැදී ඇත. ඉන් සති 02ක්  හෝ දින 14ක් පසූතියට පෙරද ඉතිරි සති 10 හෝ දින 70 ප්‍රසූතියට පසුද ලබාදිය යුතුය. ප්‍රසූතියට පෙර සති 02 නිවාඩු ලබාදීමට නොහැකි වූ විට දින 84ක් හෝ සති 12ම ප්‍රසූතියෙන් පසුව ලබාදිය  යුතුය.

නමුත් මෙකී නීතිමය තත්ත්වය 2018 අංක 15 දරණ සංශෝධන පණතින් සජීවී මුල්දරුවන් දෙදෙනෙකු වෙනුවට ඕනෑම දරු උපතක් සඳහා දින 84ක් හෙවත් සති 12ක කාලයක් ලැබේ.