කම්කරු විනිශ්චය සභාවක කාර්යභාරය පිළිබඳව සරළව දැනගමු!

 කම්කරු විනිශ්චය සභාවක කාර්යභාරය පිළිබඳව සරළව දැනගමු!

කාර්මික ආරවුල් විසඳා ගැනීම සඳහා තිබෙන්නාවූ කාර්මික යාන්ත්‍රණය සහ එමඟින් ලබා දෙන්නාවූ ප්‍රධානයන් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම සඳහා මෙවර වැඩබිම නීති පිටුව වෙන් වී තිබේ.

1.කම්කරු විනිශ්චය අධිකාරිය (Labor Tribunal) යනු කුමක්ද? 

කම්කරු විනිශ්චය අධිකාරිය හෙවත් කම්කරු විනිශ්චය සභාව යනු අර්ධ විනිශ්චය ආයතනයකි. 1957 අංක 62 දරන කාර්මික ආරවුල් සංශෝධන පනත යටතේ 1958 ආරම්භ වූවකි. මෙම විනිශ්චය  සභාවක  නඩු විසඳීම කරනු ලබන්නේ සභාපති තනතුර දරන අතිරේක මහේස්ත්‍රාත් නිලය දරන අධිකරණ නිලධාරියෙකු විසිනි.

2. ප්‍රශ්නය 

 කම්කරු විනිශ්චය සභාවක මූලික අරමුණ කුමක්ද?

පිළිතුර

යම්කිසි සේවායෝජකයකු සේවකයෙකුගේ සේවය අසාධාරණ ලෙස අවසන් කොට ඇති අවස්ථාවක ඒ වෙනුවෙන් සේවකයාට ලබාගත හැකි සහන ලබාදීමට සකසා ඇති කම්කරු යාන්ත්‍රණයකි. මෙහිදී සේවකයන් වෙනුවෙන් වෘත්තිය සමිති  නියෝජිතයින් මෙම විනිශ්ච සභාව ඉදිරියේ පෙනී සිටී. දැනට  ලංකාව පුරා විනිශ්ච සභා 30කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා ඇත. 

3.ප්‍රශ්නය

 කම්කරු විනිශ්චයාධිකාරයක බලතල කෙසේද?

පිළිතුර

කාර්මික ආරවුල් පනතේ 31 b (1) වගන්තියට අනුව යුක්තිය සහ සාධාරණත්වය (Just & equitable concept) මත පදනම්ව තීරණයක් ලබාදීමට කම්කරු විනිශ්ච සභාවකට බලය ඇත. තවද කාර්මික ආරවුල් පනතේ 31 b (4) වගන්තිය අනුව සේවකයන් සහ සේවායෝජකයන් අතර ඇතිකරගත් සේවා ගිවිසුම ඉක්මවූ සහනයක්ද මෙම සභාව මගින් ලබා දිය හැක. එනම් කම්කරු විනිශ්චය සභාවට සේවකයාට සාධාරණ යැයි සිතෙන සහනයක් ලබාදිය හැකිය.

4. ප්‍රශ්නය

 කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත්  කරන්නේ කෙසේද?

පිළිතුර

කාර්මික ආරවුල් පනතේ 31 b (1)  වගන්තිය ප්‍රකාරව කම්කරු විනිශ්චයාධිකාරයකට ඉල්ලුම්පත්‍රයක් සේවය අවසන් කොට මාස හයක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.  එකී අයදුම්පත පෞද්ගලික නීතිඥවරයෙකු මගින් හෝ වෘත්තිය සමිති සාමාජිකයෙකු නම් වෘත්තිය සමිති නියෝජිතයකු මගින් හෝ ඉදිරිපත් කළ හැකිය.

5.ප්‍රශ්නය

කම්කරු විනිශ්චය සභාවකට ලබා දිය හැකි සහන කවරේද ?

පිළිතුර

කාර්මික ආරවුල් පනතේ 33 වගන්තිය අනුව පහත සඳහන් සහන ලබාදිය හැකිය.

1. හිග වැටුප් සමඟ නැවත සේවයේ පිහිටුවීම

2. හිඟ වැටුප් රහිතව නැවත සේවයේ පිහිටුවීම

3 නැවත සේවයේ පිහිටුවීම වෙනුවට සාධාරණ වන්දි මුදලක් ප්‍රදානය කිරීම

4. සේවකයන් 15 ට අඩු සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට තීරණය කිරීම

5. පාරිතෝෂික මුදලින් නීත්‍යානුකූල නොවන අඩු කිරීම් ගැන තීරණය කිරීම

6. ප්‍රශ්නය

 කම්කරු විනිශ්චය සභාවක තීරණයට එරෙහිව අභියාචනය කරන්නේ කෙසේද?

 පිළිතුර

 කාර්මික ආරවුල් පනත 31 c (1) වගන්තිය අනුව කම්කරු  සභාවක  තීරණය අවසානාත්මක වේ. එහි සිද්ධිය පිළිබඳව ප්‍රශ්නයක් මත එබඳු තීරණයකට එරෙහිව අභියාචනා කළ නොහැකි  අතර නීතිමය ප්‍රශ්නයක් මත පළාත් මහාධිකරණයට අභියාචනා කළ හැකිය. එකී අභියාචනය විනිශ්ච සභා තීන්දුවෙන් දින 30 ක් ඇතුලත සිදුකළ යුතුය. එකී පළාත් මහාධිකරණය තීරණයට එරෙහිව නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. ඒ වගේම කම්කරු විනිශ්චය සභාවේ තීරණයට කම්කරු කොමසාරිස්වරයා මගින් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තීන්දුව ක්‍රියාත්මක කරවා ගත හැකිය.

7. ප්‍රශ්නය

 හාම්පුතුන්ගේ සම්මේලනය (Employers Federation) යනු කුමක්ද?

පිළිතුර

සේවායෝජකයන්ගේ එකමුතුවක් හෙවත් සමාගම් සඳහා වූ වෘත්තීය සමිතියක් යනුවෙන් සරලව හැඳින්විය හැකිය. වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි වුණු ප්‍රථම වෘත්තිය සමිතිය ලෙසද මෙය හැඳින්විය හැකිය. දැනට මෙම සමිතියේ සාමාජික සමාගම් 525කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත.

8. ප්‍රශ්නය

හාම්පුතුන්ගේ සම්මේලනය මඟින් එහි සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

පිළිතුර

මෙම සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති සෑම සාමාජික සමාගමකටම සමාගමේ ඇතිවෙන සියලුම කම්කරු ආරවුල් සඳහා උපදේශන ලබා දීම, කාර්මික සම්බන්ධතා පවත්වාගෙන යාමට උපදෙස් ලබාදීම සහ මානව සම්පත් කළමනාකරණය කිරීම සහ අවශ්‍යවිට නීති උපදෙස් ලබාදීම සිදුකරයි.

තවද කම්කරු රැකියා නඩු කටයුතු වල දී කාර්මික අධිකරණ, බේරුම්කරණ, කම්කරු විනිශ්චය සභා, කම්කරු දෙපාර්තමේන්තුව  සහ මානව හිමිකම් කොමිසම් සභාවලදී සේවායෝජක සාමාජික සමාගම් වෙනුවෙන් පෙනී සිටීම.

විශේෂයෙන් සාමූහික කේවල් කරන ක්‍රියාවලියේදී වෘත්තීය සමිති සමග සම්බන්ධ වී ඒ සම්බන්ධව නීතිමය කරුණු කාරණා පැහැදිලිකොට දෙපාර්ශ්වය අතර මැදිහත්වී කටයුතු කිරීම.