වැඩබිමේදී සේවකයින්ට වැදගත්වෙන මූලික නීතිමය කරුණු

වැඩබිමේදී සේවකයින්ට වැදගත්වෙන මූලික නීතිමය කරුණු

මෙවර වැඩබිම නීති පිටුව ඔස්සේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එදිනදා වැඩබිමේදී සේවකයින්ට වැදගත්වෙන මූලික නීතිමය කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන්. සේවකයින්ට මතුවන ගැටළු වලදී මෙම මූලික නීතිමය කරුණු කාරණා ගැන අදහසක් තිබීම අතිශය වැදගත් වෙන බැවින් ප්‍රශ්න හා ඊට සරළ පිළිතුරු ලෙස පහතින් සඳහන් කර ඇත

 

01 ගැටළුව :

පෞද්ගලික අංශයේ සේවකයෙකුට කම්කරු ආරවුලකදී සහන ලබාගත හැකි අධිකරණමය ආයතන සහ අධිකරණමය නොවෙන ආයතන මොනවාද?

පිළිතුර :

  1. කම්කරු උසාවි
  2. බේරුම්කරණය
  3. කාර්මික අධිකරණ
  4. කම්කරු දෙපාර්තමේන්තුව
  5. මහාධිකරණය
  6. ශ්‍රේෂ්ඨාධිකරණය

02.ගැටළුව:

රාජ්‍ය අංශයේ සේවකයින්ට ඔවුන්ගේ රැකියා අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට සහන ලබාගත හැකි ආයතන මොනවාද?

පිළිතුර :

  1. ශ්‍රේෂ්ඨාධිකරණය
  2. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්
  3. මානව හිමිකම් කොමිසම
  4. රාජ්‍ය සේවා කොමිසම (Public Service Commission)
  5. අභියාචනා විනිශ්චය සභාව (Appeals Tribunals)

03.ගැටළුව

කාර්මික ආරවුල් පණතේ ප්‍රධාන අරමුණු මොනවාද?

පිළිතුර :

  1. කාර්මික සාමය ඇතිකර ගැනීම
  2. යහපත් කාර්මික සම්බඳතා පවත්වාගෙන යාම
  3. කාර්මික ආරවුල් ඇතිවීම වැලැක්වීම
  4. කාර්මික ආරවුල් විමර්ෂණය කිරීම
  5. කාර්මික ආරවුල් නිරවුල් කිරීම

04 ගැටළුව:

කාර්මික ආරවුල් පණත මඟින් කාර්මික ආරවුල් විසඳීම සඳහා බලය ලබාදී ඇත්තේ කාටද?

පිළිතුර :

  1. කම්කරු කොමසාරිස්වරයාට
  2. කම්කරු ඇමතිවරයාට

05 ගැටළුව:

කාර්මික ආරවුලක් විසදීමට කම්කරු කොමසාරිස්වරයාට අනුගමනය කලහැකි ක්‍රම මොනවද?

පිළිතුර:

  1. යම් පාර්ශවයන් අතර ඇතිකර ගෙන තිබෙන යම් ගිවිසුමක් අනුව එම ආරවුල නිරාකරණය කිරීම
  2. සමථ කිරීම
  3. සමථ කිරීමෙන් ආරවුල විසදීමට බලයලත් නිලධාරියෙකු වෙත යොමුකිරීම

06 ගැටළුව:

කාර්මික ආරවුලක් සම්බන්ධව කම්කරු අමාත්‍යවරයාට ඇති බලතල මොනවාද?

පිළිතුර:

යම් කාර්මික ආරවුලක් සුළු ආරවුලක් බව කම්කරු අමාත්‍යවරයා තීරණය කරන විට ආරවුලට අදාළ පාර්ශවයන්ගේ කැමැත්ත නොමැතිව අමාත්‍යවරයා විසින් බේරුම්කරුවෙකු වෙත ලිඛිතව එම ආරවුල යොමු කිරීමට අමාත්‍යවරයාට බලය ඇත.