මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (01) දින අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම, සේවා සැපයීමේ ගුණාත්මකභාවය තවදුරටත් වර්ධනය කිරීම සහ ජනතාවට වඩාත් කඩිනම්, විධිමත් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම මෙම පත්වීම් ප්‍රදානයේ මූලික අරමුණු අතර වේ.
මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන වෘත්තීය ඛාණ්ඩ හතරට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරිණි.
ඒ අනුව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණයට වෛද්‍ය සැපයීම් සහකාරවරුන් 06 දෙනෙකු, වාට්ටු ලිපිකරුවන් 50 දෙනෙකු සහ නිවාස පාලක/පාලිකාවන් 37 දෙනෙකු ද, ප්‍රාථමික ශිල්පීය සේවා ගණයට සෞඛ්‍ය රියදුරන් 07 දෙනෙකු සහ රෝහල් ඕවර්සියර්වරුන් (සුළුසේවා පාලක) 121 දෙනෙකු ද, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයට සංචාරක බංගලා භාරකරුවන් 03 දෙනෙකු, ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරුවන් 07 දෙනෙකු, කරණවෑමියා 01 දෙනෙකු, විකලාංග කාර්මික සහායකයන් 37 දෙනෙකු, ජලනල කාර්මිකයන් 31 දෙනෙකු, මැහුම් ක්‍රියාකරුවන් 64 දෙනෙකු සහ අරක්කැමියන් 144 දෙනෙකු ද පත්වීම් ලබා ගනු ලැබීය.
එමෙන්ම ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට සෞඛ්‍ය කාර්ය සහායකයන් 651 දෙනෙකු සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් 285 දෙනෙකු සඳහා ද පත්වීම් ප්‍රදානය කෙරිණි.
