කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු දින 10 තුළ වෛරසය පැතිරීමේ අවදානම වැඩියි

කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු දින 10 තුළ වෛරසය පැතිරීමේ අවදානම වැඩියි

කොවිඩ් 19 වැළදුනු පුද්ගලයෙකුගෙන් එය පැතිරීමේ අවදානම වැඩිම කාලය පලමු දින 10 වන බැවින් එම කාලය නිවැරදිව හදුනාගෙන කටයුතු කිරීමත් වෛරසයේ පැතිරීම එහි හැසිරීම, ස්වභාවය පිළිබදව නිවැරදි විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එය පාලනය කිරීම සදහා නව විද්‍යාත්මක උපක්‍රම පිළීබදවත් අවධානය යොමුකළ යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති දෛනික කොවිඩ් විශ්ලේෂණ කමිටුව හමුවේදී ඇය මේබව සදහන් කළාය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජය විසින් කොවිඩ් 19 පාලනය සදහා අතිවිශාල මුදලක් දෛනිකව වියදම් කරන අතර එමගින් වෛරසය ලංකාවේ යම් පාලනයකට ලක්කරගෙන සිටියද තවදුරටත් උපායමාර්ගික ක්‍රියාමාර්ගවලට එළැඹීම මගින් ගනු ලබන විද්‍යාත්මක උපක්‍රම ඔස්සේ වෛරසයේ පැතිරීම සීමා කිරීම, කාලය, මුදල ඉතිරිකර ගැනීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අධික වෙහෙස අවම කර ගැනීම, තදබදයකින් තොරව සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම ආදිය සිදුකල හැකි ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

විශේෂයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් (Asymptomatic Patients) සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ පළමු දින 10 ප්‍රතිකාර මධ්‍යස්ථානයක සහ ඉතිරි දින 04 නිවෙස් තුළ වෛද්‍ය නිරීක්ෂණය යටතේ තැබීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණු මත තීරණය කිරීමට සොයා බලන ලෙස සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය එය කලින් ඇතුලත් කර කලින් පිටව යාහැකි (early admission early discharge) ක්‍රමවේදයක් ලෙස සකස් කිරීම වැදගත්වන බව සදහන් කළාය.

කොවිඩ් 19 පාලනය සදහා දැනට භාවිතා කරන පරීක්ෂණ (Testing), රෝහල් ගත කර තබන කාලය (period of hospitalization), නිරෝධායන වැඩපිළිවෙල (Quarantine Process) සහ නිරීක්ෂණ කටයුතු (Surveillance system) ඇතුළු ක්‍රමවේදයන් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවාද නැතහොත් වෛරසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අලුත් අදහස්, තහවුරු කර ඇති කරුණු ඔස්සේ එම ක්‍රමවේදයන්හි වෙනසක් සිදුකල හැකිද යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරු ඇතුළු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සහභාගීවිය.