කොවිඩ් එන්නත් ලබා දුන් ලක්ෂ 10න් ලක්ෂ 03කගේ දත්තවල බරපතළ ගැටලු

කොවිඩ් එන්නත් ලබා දුන් ලක්ෂ 10න් ලක්ෂ 03කගේ දත්තවල බරපතළ ගැටලු

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනවල අදාළ එන්නත් ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල බරපතළ ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

(14) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළිකළ යුද හමුදාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මුල් අවස්ථාවේ ලක්ෂ 10කට එන්නත ලබා දුන් බවයි.

“මේ වනවිටත් ලක්ෂ තුනක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා, අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව පන් ලක්ෂ හැට හය දහසකට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි කියලා අපි හිතනවා.”

‘ යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් . ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න අපි යෙදෙව්වා. විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා. කවුද ගන්න කිව්වේ කියලා අහලා තිබුණා. දත්ත දෙන්න බෑ කියලා තිබුණා‘ යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.