2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත.
දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැක. 2021 වසරේ දී මේ දක්වා (2021. 07. 29 දින දක්වා) ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වූ අතර, ජූනි මාසයේ දී රෝගීන් 2,997 ක් ද, ජුලි මාසයේ මේ දක්වා රෝගීන් 3,029 ක් ද හඳුනා ගෙන ඇත.
දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 70 % ක් පමණ බස්නාහිර පළාතින් වාර්තාවීම ද විශේෂත්වයකි. දැනට දිවයින තුල ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණය නිසා ඉදිරියටත් මෙලෙස ඩෙංගු රෝගයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද‍්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදු කල මෙරට සංසරණය වන ඩෙංගු වෛරස් ප්‍රභේද හඳුනා ගැනීමේ නියැදි පර්යේෂණයක දී,
මේ වනවිට ඩෙංගු වෛරස් කාණ්ඩ (Dengue serotype) 4 ම දිවයින තුළ සංසරණය වන බවට හඳුනා ගෙන ඇත. මෙයින් වෛරස් කාණ්ඩ 2 හා 3 දිවයින තුල වැඩි වශයෙන් සංසරණය වන අතර වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 1 නැවතත් මෙරට තුල සංසරණය වන බව ද එම පර්යේෂණ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත.
මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහල යාමක් අපේක්ෂා කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් මහජනතාව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
රට තුල කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, නැවත ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍යයේ නිසි පැවැත්මට දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩකඩ ඇති බැවින් පහත සදහන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වීම අනිවාර්ය බව ද ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙයි.
1. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම.
නිවස තුල ඩෙංගු මදුරු කීටයින් බෝවිය හැකි ජලය රැස්කරන භාජන, ශීතකරණ තැටි හා විසිතුරු මල්බදුන් පිරිසිදු කිරීම.
නිවස අවට පරිසරයේ ඇති ඉවතලන භාජන, හිස් ටින්, යෝගට් කෝප්ප, පොල්කටු, ප්ලාස්ටික් හා පොලිතින් ඇසුරුම් ජලය රැස් නොවන සේ ගබඩා කිරීම හෝ නිසි කසල කළමනාකරණ ක්‍රමවේදයන්ට අනුකුලව බැහැර කිරීම.
වැහිපීලි සහ කොන්ක්‍රීට් වහල සතියකට දෙවරක් වත් ජලය එක්රැස් නොවන සේ පිරිසිදු කිරීම.
2. ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම.
ඩෙංගු මදුරුවා දෂ්ඨනයේ යෙදෙන උදෑසන සහ සවස් කාලයේ දී , ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ආලේප කරන්න. අනුමත මදුරු විකර්ශකවල නාම ලේඛනයක් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ www.dengue.health.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක .
විශේෂයෙන් කුඩා දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී ශරීරය ආවරණය වන සේ ඇඳුම් භාවිතා කිරීම මගින් මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා විය හැක.
3. ඩෙංගු රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම හා ඩෙංගු රෝගය සැක කරන අවස්ථාවන්හි දී හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මස්පිඩු හා හන්දිපත් වේදනාව, ඔක්කාරය හා වමනය ඇති අවස්ථාවලදී නොපමාව වෙද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම.
කොවිඩ්, ඩෙංගු වැනි වෛරස් රෝගවල මුලික අවස්ථාවන් වලදී, රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් ඉහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවන්හිදී කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත්ය.
දිවයින පුරා ඇති රෝහල් කොවිඩ්-19 රෝග අවදානම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට, උණ රෝගීන් ප්‍රතිකාර සඳහා රෝහලකට පැමිණි පසු රෝහලට ඇතුළත් කර ගැනීමේ හා වර්ගීකරණයේ (Triage) ආරක්‍ෂිත ක්‍රමවේද හඳුන්වා දී ඇත. එම නිසා ඩෙංගු යයි සැක කරන අවස්ථාවක දී රෝහල් කරා පැමිණීමට ජනතාව කිසි සේත් බිය විය යුතු නොවේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය, රට පුරා විසිරි ඇති සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාල හා එක්ව, අඛණ්ඩව ඩෙංගු රෝග මර්දන හා පාලන කටයුතුවල නිරත වෙමින් ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදු කරනු ලබයි.
ඩෙංගු රෝග පාලනය හා මර්දනය සදහා පොදු මහජනතාවගේ සක්‍රිය දායකත්වය හා මැදිහත්වීම, රට තුල තවත් වසංගත රෝගයක් පැතිරී යන අවස්ථාවක දී අතිශයින් වැදගත් බවත් සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂිත රෝග පාලන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේදී මහත් පිටිවහලක් වනු ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.