ගුරු සේවයට අලුතින් පත්වීම් ලැබෙයි -1000කට ආසන්න පිරිසකට රැකියා වරම්

ගුරු සේවයට අලුතින් පත්වීම් ලැබෙයි -1000කට ආසන්න පිරිසකට රැකියා වරම්

සබරගමු පළාත් ගුරු සේවය සඳහා නවක ගුරු භවතුන් 917 දෙනකු වෙත පත්වීම් ප්‍රධානය කිරීම සබරගමු පළාත් ගරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

කොළඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනවේදී උපාධිය සමත් වූ 21 දෙනකුද, 2018.04.27 සහ 2019.03.31 යන දෙදින ශ්‍රී ලංකා විභාග දෙපර්තමේන්තුව මඟින් පවත් වන ලද විවෘත තරඟ විභාගයේ ඉහළම ලකුණු ලැබු 387 දෙනකුද මෙම පත්වීම් ලාභීන් අතර වෙති.

එමෙන්ම 2020.08.28 වන දින අයදුම් පත් කැඳවු සියළුම දෙමළ මාධ්‍ය උපාධිධාරීන් සහ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් 251 ද සිංහල මාධ්‍ය උපාධිධාරීන් 285 දෙනකුද සෙසු අය වෙති.

ඒ අනුව ඉතිහාසය, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, බුද්ධධර්මය, බෞද්ධ ශිෂ්ඨාචාරය, විද්‍යාව, ඉංග්‍රීසි, ජෛව පද්ධති තාක්ෂණය, ගණිතය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර හා ගිණුම් අධ්‍යයනය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, උපදේශනය, සිංහල භාෂාව හා සාහිත්‍ය, චිත්‍ර කලාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය ක්ෂෙත්‍ර සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය බඳවා ගැනීම් සිදු කර ඇත.

පත්වීම් ප්‍රධානය සෞඛ්‍ය උපදෙස් මත සිදු කරනු ලැබු අතර මෙදින එහිදී පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙත ද පස්වරුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ 250 දෙනකු වෙතද සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පත්වීම් ප්‍රධානය කරන ලදි.

සෙසු පත්වීම් ලිපි පත්වීම් ලාභීන් වෙත තැපැල් මාර්යෙන් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කර ඇත.