වතු සේවක දෛනික වැටුප 1000ක් කරන ගැසට් එක සතියකින් එනවාලු

වතු සේවක දෛනික වැටුප 1000ක් කරන ගැසට් එක සතියකින් එනවාලු
වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
 
  පඩි පාලක සභාව අද (01) රැස්වී අදාළ තීරණය ස්ථීර කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.
 
වතු සේවක දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.
 
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කරන ලදී.
 
ඒ අනුව වතු සේවකයින්ගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1,000 ක් ගෙවීමේ තීරණයට පඩි පාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
 
අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වනදා දක්වා කල් දී තිබූ අතර ඉන් පසු පඩි පාලක සභාව අද යළි රැස්වුණි.
 
ඒ අනුව සේවකයින්ට රුපියල් 1,000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉකුත් සභාවේ එළඹි තීරණය අද සභා රැස්වීමේදී ස්ථිර වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.