හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ ජනවාරි මස 13 දින සිට

හෙද පුහුණුවට සම්මුඛ පරීක්ෂණ ජනවාරි මස 13 දින සිට

මෙරට රජයේ රෝහල් වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව, ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිලිබදව කරුණු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙහිදී, හෙද කාර්ය මණ්ඩල ධාරිතාවය වැඩි කිරීම සදහා  අයදුම්පත් යොමු කල හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණූවට ඇතුලත් කිරීමට පියවර ගන්නා මෙන්   සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එම විෂයට අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ඒ අනුව කටයුතු කරමින් 2019/2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් සිසු හෙද පුහුූණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ‍

මෙම සම්මුඛ පරීක්ෂණ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ හා දිවයින පුරා හෙද විදුහල් වල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අයදුම්කරුවන් 4000 කට අධික ප්‍රමාණයක් මේ සදහා අයදුම්කර ඇත.

මේ පිලිබද වැඩි විස්තර (දෙසැම්බර්) මේ මස 27 දිනෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකිරීමට කටයුතු කරන අතර 27 වැනි දිනෙන් පසු අයදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර අවශ්‍ය විස්තර ලබා ගන්නා මෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටී.   

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  හෙද නිලධාරීන් 45,000 කට අධික ප්‍රමාණයක් සේවය කරයි. දිවයින පුරා හෙද පුහුණු පාසල් 17 ක හෙද සිසු සිසුවියන් 6500 අධික ප්‍රමාණයක්  පුහුණු පාඨමාලාවල නිරත වේ.