ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී (02) දින පෙරවරුවේ පැවැත්විනි.

මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් සහ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.

ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරිිනි. එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබදව විශේෂ දේශණ ද පවත්වන ලදි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙය  දිගු ගමනක ආරම්භයක් බවත්, සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතු බවයි. අද වෛද්‍ය විද්‍යාව නුතන තාක්ෂණය සමග දියුණුවට පත්ව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව ද පැවැසිය. නව ඖෂධ සහ නව තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම හදූන්වාදීම ද ඉන් ප්‍රධාන වන බව පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු දැනට එහි ලියාපදිංචි වී සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය හා ආචාරධර්ම පවත්වා ගෙන, සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා කිරිමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

මෙහි පාලක සභාවේ පොදු යුතුකම වන්නේ මහජනයා ආරක්ෂා කිරීම සහ වෘත්තියේ කීර්තිය ඉහළ නැංවීමයි. ක්‍ෂේත්‍රයේ සේවය කිරීම සඳහා විවිධ කාණ්ඩවල සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වාර්තා පවත්වා ගෙන යාම, ඒවා ප්‍රකාශයට පත් කිරීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නිර්දේශ කිරිමත් රාජකාරි කටයුතු ඉටු කිරිමේදි  වෘත්තීය හැසිරීම සහ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳව උපදෙස් දීමත් ලියාපදිංචි වී සිටින අයගේ ක්‍රියාකලාපයන් නුසුදුසු යැයි පෙනි යන්නේ නම් එම පුද්ගලයන්ට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම යනාදිය  පාලක සභාව මගින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කරමින් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.