මාර් තු 15 ගුරු-විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරයි

මාර් තු 15 ගුරු-විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරයි

2023 මාර්තු 15 වැනි දින රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා ඇති “ආණ්ඩුවේ පීඩනයට එරෙහි වැඩ කරන ජනතාවගේ විරෝධය” නමින් වු එක්දින වැඩ වර්ජනයට සියලු ගුරු - විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමට අප සංවිධානය තීරණය කර ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝෂප් ස්ටාලින් හා මහින්ද ජයසිංහ මහත්වරුන්ගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඒ අනුව දිවයින පුරා පාසල්වල සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුරු උපදේශකවරු පහත ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් 2023 මාර්තු 15 දින වැඩවර්ජනයේ නිරත වීම සිදු වේ. එසේම දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් උද්ඝෝෂණවල නිරත වීම ද සිදු කරනු ලබයි.

  • ගුරු, විදුහල්පති, ගුරු උපදේශක හා පිරිවෙන් ගුරු සේවාවන්ට පවතින වැටුප් විෂමතාවයෙන් ඉතිරි 2/3 ලබාදෙන තෙක් රු. 20,000 ක දීමනාවක් ලබාදීම.
  • ගුරු, විදුහල්පති, ගුරු උපදේශක හා පිරිවෙන් ගුරු සේවාවල උසස්වීම් ඇතුළු වෘත්තීය ගැටළු විසඳීම.
  • මාසික වැටුප හා හිඟ වැටුප මත අයකරන බද්ද අහෝසි කිරීම.
  • බැංකු මගින් ලබාගත් ණයට අදාළව ඉහළ දැමු පොළිය අඩු කිරීම.
  • දරුවන්ගේ පෝෂණය, පාසල් උපකරණ, ප්‍රවාහන ගැටළුවලට විසඳුම් ලබාදීම.
  • පාසල්වල විදුලි, ජල, දුරකථන වියදම් හා නඩත්තුව දෙමව්පියන් මත පැටවීම නතර කිරීම.
  • ප්‍රජාතන්ත්‍රවාදය හකුළන පළාත් පාලන මැතිවරණ කල්දැමීම නතර කිරීම.
  • ජනතා විරෝධයන්ට එල්ල කරන රාජ්‍ය මර්දනය නතර කිරීම.