අද (15) Uber - Pick Me විරෝධතාවයක

uber-pickme

Uber සහ Pick Me කුලීරථ සහ බෙදාහැරීමේ වෘත්තිකයන්ගේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ විරෝධතාවය පවත්වන බව සමස්ථ ලංකා කුලීරථ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ජංගම දුරකථන යෙදවුම් (Apps) හරහා කුලී රථ සේවා සපයන සහ බෙදාහැරීමේ නියුතු වෘත්තිකයන් මුහුණ දෙන අතිශය පීඩාකාරී තත්ත්වයන් සහ බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙතට විරෝධය පළ කරමින්, ලබන 15 වන සිකුරාදා දින දිවයින පුරා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්‌ගයක් සහ උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අප කටයුතු යොදා ඇත. සමස්ත ලංකා කුලී රථ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය ප්‍රමුඛ කොට ගත් ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති සහ කණ්ඩායම්වල ඒකාබද්ධ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය වේ.

විරෝධතාවයට පාදක වන ප්‍රධාන ඉල්ලීම්:

  1. අසම්පූර්ණ නියාමනය: ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) මගින් සකස් කරනු ලබන නව රෙගුලාසි වලට ඇප් සේවා සපයන සමාගම් ඇතුළත් නොකිරීම හරහා සිදුවන අසාධාරණය නතර කිරීම.
  2. ගාස්තු නිර්ණයේ අර්බුදය: ගාස්තු තීරණය කිරීමේ සම්පූර්ණ බලය සමාගම්වලට පවරා රජය වගකීමෙන් බැහැර වීම වහා නතර කර, විද්‍යාත්මක ගාස්තු පාලනයක් ඇති කිරීම.
  3. ජීවනෝපාය සහතික නොකිරීම: ඉහළ යන වියදම් හමුවේ රියදුරන්ට සහ බෙදාහැරීමේ ධාවකයින්ට ජීවත්වීමට සරිලන සාධාරණ ආදායමක් සහතික කිරීමට රජය අපොහොසත් වීම.
  4. අත්තනෝමතික ගිණුම් අත්හිටුවීම: කිසිදු පූර්ව විමර්ශනයකින් තොරව රියදුරන්ගේ සේවා ගිණුම් අත්හිටුවා ඔවුන්ගේ වෘත්තීය අයිතිය උල්ලංඝනය කිරීම.
  5. ඇල්ගොරිතම සූරාකෑම: සංකීර්ණ තාක්ෂණික මෘදුකාංග (Algorithms) මුවාවෙන් සේවකයින්ගේ සාධාරණ ඉපයීම් සමාගම් විසින් රඳවා ගැනීම.

විරෝධතාවයේ විස්තර:

  • දිනය: 2026 මැයි 15 වන සිකුරාදා
  • පෙරවරු 10.00 ට තුන්මුල්ල මංසන්ධියේ Uber ආයතනය ඉදිරිපිට
  • පෙරවරු 11.00 ට නුගේගොඩ හයිලෙවල් පාරේ Pick Me ආයතනය ඉදිරිපිට
  • ක්‍රියාමාර්ගය: සියලුම ඇප් (App) සේවාවන්ගෙන් ඉවත් වී වැඩ වර්ජනය කිරීම සහ අදාළ ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම.