බස්ගාස්තුව 17%කින් ඉහළට - රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැටුප් අවුරුදු 7කින් වැඩිවී නෑ

bus-fare-hike

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින්  ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය  (29) දින පියවර ගෙන තිබෙන අතර එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා  සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

නව ගාස්තු වැඩි කිරීම අනුව අනුව රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17 දක්වා වැඩිවන  අතර රුපියල් 17ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 23 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 27 දක්වාත්, රුපියල් 28 ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 33 දක්වාත්, රුපියල් 33ක්ව පැවති බස් ගාස්තුව රුපියල් 39 දක්වාත් වැඩිවෙනවා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තුද ඉහළ දමන්නැයි  බස් හිමියන්ගේ සංගම් රජයෙන් කළ ඉල්ලීමක් මත මෙම ගාස්තු සංශෝධනය සිදුකරනු ලැබූ බවයි වෙල්ගම මහතා පැවසුවේ.

මිල සූත්‍රය උපවෙයා්ගී කරගිනිමින් ගාස්තු සංශෝධනයක් කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිල්ම් අමුනුගම මහතා ඉකුත් 22 ලබා දුන් උපදෙස් මත මෙම නව ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නව බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි විවේචනයක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප වර්ෂ 7කින් පමණ වැඩි නොවීම තුළ මේ වන විට බස් ගාස්තුව පමණක් 50%කට ආසන්න අගයකින් වැඩිවී ඇති බවයි.

‘කොරෝනා වසංගතය ආරම්භයේදී බස් ගාස්තු වැඩි කළා. රුපියල් 48ට තිබුණ ගාස්තුව 60 දක්වා වැඩි වුණා. අපි කවුරුත් ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. දැන් ආයිත් බස් ගාස්තු 17%කින් වැඩි වෙනවා. එතකොට අපි කොහොම ද මේ තත්ත්වය දරා ගන්නේ. ගෑස්, සීනී, හාල් ඇතුළු සියලු දේවල් වල මිල විශාල වශයෙන් ඉහළ ගිහින්. ඒත් අපේ වැටුප ශතයකින් වැඩිවෙලා නෑ. මේක ඇත්තටම අපරාධයක්. ජීවත් වෙන්නේ ව්‍යාපාරිකයෝ විතරද ? වැටුප් ගන්න අපි ජීවත් වෙන්නේ නැද්ද ? ඉන්ධන මිල ඉහළ දාලා කිව්වේ පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න කියලා. ඒක ධෛර්යමත් කරන්න ඉන්ධන මිල ඉහළ දැම්මා කියලා. මේවා මහදැන මුත්තාගේ කතා. මේ ආණ්ඩුවට සාමාන්‍ය ජනතාව ගැන කිසිම අනුකම්පාවක් නැහැ‘ අප සමග අදහස් දැක් වූ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බොහෝ දෙනකුගේ පොදු අදහස මෙය විය.