ලෝක කම්කරු සංවිධානයේ සී 190 සම්මුතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

nimal-siripala-silva

ලෝක කම්කරු සංවිධානය (ILO) විසින් 2019 දි අනුමත කරන ලද C 190 සහ තවත් සම්මුති දෙකක් ශ්‍රී ලංකාවේ බලාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ලෝක කම්කරු සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වන ශ්‍රී ලංකාව,කම්කරු ජනතාවගේ සුබසිද්ධියට හා අභිවෘද්ධියට හේතුවන මෙම සම්මුති මෙරට නීති බවට පත්කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේ දී ගන්නා බව කම්කරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2017 පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනය 106 වන සැසිවාරයේ දී අනුමත කරන ලද සාමය සහ ප්‍රත්‍යාස්ථිතිය සඳහා සේවා නියුක්තිය සුනිසි රැකියා සම්බන්ධයෙන් වන නිර්දේශය සහ 2019 පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 108 වන සැසිවාරයේ දී අනුමත කරන ලද වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම සම්බන්ධයෙන් වූ C 190.සම්මුතිය සහ ඊට ආනුෂංගික 206 නිර්දේශයන් මෙරට බලාත්මක කිරීමට, නීති පද්ධතියට එකතු කිරීමට පසුගියදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජාතික වෙළඳ නාවිකයන්ගේ සංගමය මෙහෙයවීමෙන් කොළඹ පදනම් ආයතනයේ පැවැති කාන්තා දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

එම C 190 සම්මුතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමේ මේ පණිවිඩය මෙම වෘත්තීය සමිති කාන්තා දින උත්සවයේ දී ජාතියට ප්‍රකාශ කිරීමට ලැබීම ඉතිහාසයට එක්වන සිද්ධියක් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද මෙම කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර,පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රී සංසදයේ ද කම්කරු අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ ද පූර්ණ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු විද්වතුන්ගේ ද අදහස් රැගෙන මෙම සම්මුතිය ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස සකස් කර නීතියක් ලෙස ලබන වසරේ කාන්තා දිනය වන විට C190 කම්කරු සම්මුතිය මෙරට යථාර්ථයක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී විශ්වාසය පළ කළේය.

මෙම සම්මුතිය මෙරට නීතියක් බවට පත්වීමත් සමඟ එය මෙරට වැඩබිම් වල සිටින කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයටද ආරක්ෂාව සලසා දෙන නීතියක් බවට පත් වන බවත් එසේම මේ තුළින් සියලු සේවකයන්ට යහපත් රැකියා අවස්ථා තහවුරු කර දෙන බවත් මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු වැඩ ලොව කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදනය ඉහළ නැංවීම වෘත්තීය සමිතිවල වගකීමක් බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා ගත් මෙම කඩිනම් පියවර සමඟ මෙම C190 ජිනීවා කම්කරු සම්මුතිය පොදු නීතියක් බවට පත් කරන ආසියාවේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව මෙහි දී වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය,රෝහිණී කවිරත්න, සමග ජාතික වෙළඳ නාවිකයන්ගේ සංගමයේ සභාපති පාලිත අතුකෝරල,ලෙස්ලි දේවේන්ද්‍ර,ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර් ජයකොඩි වෘත්තීය සමිති නායක නායිකාවෝ ද එක් වූහ.