ඇඟළුම් සමිති විරෝධතා සතිය තුළ සිය ඉල්ලීම් වෙනුවෙන් හඬ නඟයි -

ඇඟළුම් සමිති විරෝධතා සතිය තුළ සිය ඉල්ලීම් වෙනුවෙන් හඬ නඟයි -
කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ 2020 මාර්තු මස සිට මැයි මාසය දක්වා සමස්ථ ආසියාවේම පිහිටි ඇඟළුම් කර්මාන්තශාලාවලට ඉතා තදබල ලෙස බලපෑම් ඇති කර තිබෙන අතර එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇඟළුම් ගැණුම්කරුවන් (බ‍්‍රෑන්ඩ්ස්) තම ඇණවුම් ඉල්ලා අස්කරගත් අතර ඇණවුම්වලට නිසි ගෙවීම් ද කර නැති බවට චෝදනා කර තිබේ.
 
මේ තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තශාලා හිමියන් ද වසර ගණනාවක් සේවය කළ සේවකයින්ට අපේ‍්‍රල් මස ගෙවීමට නියමිතව තිබූ බෝනස් මුදල් අහිමි කිරීම, සේවයට වාර්ථා කිරීමට නොහැකි වූ සේවකයින්ට වැටුප් නොගෙවීම, පැමිණීමේ දීමනා අහිමි කිරීම, ප‍්‍රවාහන පහසුකම් ලබා නොදීම, උනන්දු දීමනා නැති කිරීම, අතිකාල කර යන්තමින් ජීවිතය ගැටගහගත් සේවකයින්ගේ අතිකාල අහිමි කිරීම වැනි ක‍්‍රම මගින් ඔවුනට අහිමි කළ මුදල සුළුපටු නොවන බව ඉහත දැක්වෙන ප‍්‍රමාණයන් අනුව පෙනී යනු ඇත. මීට අමතරව විශාල සේවක පිරිසකගේ රැකියා අහිමි කළ අතර ඒ සඳහා ඔවුනට හිමිවිය යුතු වන්දි මුදල් ද ගෙවා නොමැත.
 
මෙසේ කොවිඩ් 19 වසංගතය නිසා අසාධාරණයට ලක් වූ ලොව පුරා සිටින ඇඟළුම් සේවකයින්ට අහිමි කළ එම මුදල් ගෙවන ලෙස ඉල්ලා වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එකතු වී එසේ අහිමි කළ මුදල් ඇඟළුම් සේවක සේවිකාවන්ට ගෙවන ලෙසට ගැණුම්කරුවන්ට සහ කර්මාන්තශාලා හිමියන්ට බල කිරීමට 2021 මාර්තු මස 15 වන දින සිට 21 වන දින දක්වා විරෝධතා සතියක් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන අතර එම දීමනා ඉල්ලා 2021 මාර්තු මස 20 වන දින කටුනායක, ගම්පහ, ජා ඇල, ඒකල, බියගම සහ මහියංගණය වැනි ප‍්‍රදේශවල  ක්‍රියාකාරකම්ද සිදුකිරීමට කටයුතු කරන ලදී.
 
මෙම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ස්ටාර් ගාමන්ට් කළමනාකාරිත්වය වෘත්තීය සමිති මෙන්ම අනෙකුත් සේවකයින් සමඟ රැස්වීමක් කැඳවා 2020 අප්‍රේල් සිට මැයි දක්වා ගෙවා නොමැති හිඟ මුදල් ගෙවීමට තීරණය කර ඇති බවට නිවේදනය කර ඇත.
 
විරෝධතා සතිය වෙනුවෙන් කරන ලද ක්‍රියාකරකම් ඇතුළත් වීඩියෝ පටය පහතින්...