1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කළ යුතුයි

Free-Midea-Movement

වසර පනහකට ආසන්න, මාධ්‍ය නිදහසට දැඩි සේ හානිකර නීතිමය අවරණයන් සහිත යල්පැන ගිය නීතියක් වන පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිසංවිධානයට දැඩි සේ විරෝධය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම පනත අහෝසි කරන ලෙස අවධාරණය කර සිටී.

1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මඟින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳව විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම බලාපොරොත්තුව බව ප්‍රකාශ කරමින් ලේකම්වරයා දැන්වීමක් පළ කර තිබුණි. ඒ සම්බන්ධයෙන් මාර්තු 12 වැනිදා ලිපියක් යවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හානිකර නීතිමය ප්‍රතිපාදන සහිතව, රජයේ ආයතනයක් විසින් ඒකපාර්ශ්විකව සිදුකරනු ලබන මාධ්‍ය නියාමන ක්‍රියාවලියකට දීර්ඝ කාලයක් තිස්සේ තමන් විරෝධය පළ කර ඇති බව ප්‍රකාශ කරයි. තම සංවිධානයේ එකඟතාව ඇත්තේ මාධ්‍ය ප්‍රජාවගේ මැදිහත් වීමෙන් සිදු කරනු ලබන මාධ්‍ය විවිධත්වය, ස්වාධීනත්වය, නිදහස සහ සමාජ වගකීම ආරක්ෂා වන, සියලු මාධ්‍ය ආවරණය වන ''සහ නියාමන'' ක්‍රමවේදකයට බවත් පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පුවත්පත් මණ්ඩලයට විරුද්ධ වීමට හේතු වන අහිතකර නීතිමය ප්‍රතිපාදන ගැන විස්තරාත්මකව තම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

පුවත්පත් මණ්ඩලයට විරුද්ධ වීමට හේතු වන අහිතකර නීතිමය ප්‍රතිපාදන

  • පුවත් පත් මණ්ඩලය ස්වාධීන ආයතනයක් නොවීම.
    * ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 3 වන වගන්තිය අනුව එහි සාමාජිකයන් 7 දෙනා අතරින් සාමාජිකයින් 6 දෙනෙකුම පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි. එය ජනාධිපතිගේ පරම අභිමතය අනුව සිදුවන ක්‍රියාවලියක් වන බැවින් මණ්ඩලය තනිකරම ජනාධිපතිට අවශ්‍ය පුද්ගලයන්ගෙන් සමන්විත ආයතයක් වී තිබේ.
    * එහි සාමාජිකයන් ඉවත් කිරීමේ බලය ජනාධිපතිට හිමිවීම මතද මණ්ඩලයේ ස්වාධීනතාව අහිමිවී තිබේ.
    * මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැටුප තීරණය කරන්නේ විෂය භාර අමාත්‍යවරයා වීම මගින්ද මණ්ඩලයේ ස්වාධීනතාව අහිමි වී තිබේ.
    * සාමාජිකයන්ගේ වසර තුනක ධූරකාලයෙන් පසුව නැවත පත් කිරීමට සුදුස්සන් වීමත් එසේ පත් කිරීම සිදුකරනු ලබන්නේ ජනාධිපතිගේ අභිමතය මත වීමත් නිසා ද මණ්ඩයේ සාමාජිකයන් ජනාධිපතිට අවශ්‍ය දේ සිදුකරන පුද්ගලයන් බවට පත්වීම වැළැක්විය නොහැකි වී තිබේ.
  • පුවත්පත් මණ්ඩලය තුළ මාධ්‍ය ක්‍ෂේත්‍රයට අවම නියෝජනයක් පැවතීම.
    ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 3(ආ)(1) වගන්තිය අනුව පුවත්පත් කලාවේදීන්ගේ නියෝජනය සහ 3(ආ)(2) වගන්තිය අනුව පුවත්පත් වෘත්තීය සමිති නියෝජිතයා පමණක් පුවත්පත් ක්‍ෂේත්‍රයට අදාල නියෝජනයන් වේ. ඒ අනුව සාමාජිකයන් 7 දෙනෙකුගෙන් ක්‍ෂේත්‍රය නියෝජනය කරනු ලබන්නේ නියෝජිතයන් 2 දෙනෙකු පමණි. එය කිසිසේත් සාධාරණ නියෝජනයක් නොවේ. එසේම පනතේ 7 වන වගන්තිය අනුව මණ්ඩලයේ පුරප්පාඩු පැවතුනද මණ්ඩලයට ක්‍රියාත්මක විය හැකි බව දක්වා ඇති බැවින් පුවත්පත් ක්‍ෂේත්‍රයේ දෙදෙනා නොමැති වුවද මණ්ඩලයට ක්‍රියාත්මක විය හැකිය.
  • පුවත්පත් මණ්ඩල පනත යටතේ පවතින ඇතැම් වැරදි මාධ්‍ය නිදහස අවහිර කිරීම.

පනතේ 16 වන වගන්තියේ දැක්වෙන පරිදී අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් පිළිබද තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ ලේකම්ගේ අවසරයකින් තොරව පුවත්පත්වල පළකිරීම වරදකි. මෙම ප්‍රතිපාදනය ඉතා යල්පැනගිය ප්‍රතිපාදනයක් වන අතර එය පුවත් පත් නිදහස මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ද උල්ලංඝණය කරන්නකි.

  • අභියාචනයට අවස්ථාවක් නොතිබීම- තීරණය අවසානාත්මක වී තිබීම.
    පනතේ 9(5) වගන්තියට අනුව පුවත් පත් මණ්ඩලයේ අණක් හෝ දෝෂාරෝපණයක් අවසානාත්මක වන අතර කිසිදු අධිකරණයක ප්‍රශ්න නොකළ යුතු බව දක්වා තිබේ. ඒ අනුව මණ්ඩලයේ එවැනි තීරණයකට එරෙහිව අභියාචනා කළ හැකි අධිකාරියක් හෝ අධිකරණයක් නොමැත. මෙය 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ 4(2) වගන්තියට පටහැනි වේ. විශේෂයෙන්ම මණ්ඩලයේ නියෝගයට පටහැනි වීම මණ්ඩලයට අපහාස කිරීමක් ලෙස සලකන බවට වන පනතේ 12(1) වගන්තිය අනුව ගත් කල මෙම ප්‍රතිපාදනය නීතියේ ආධිපත්‍යයට කිසිසේත්ම එකගත නැත.
  • මණ්ඩලයට අපහාස කිරීම පිළිබද ප්‍රතිපාදන
    මණ්ඩලයට අපහාස කිරීම සම්බන්ධව නඩු විභාග කිරීමේ බලය අභියාචනාධිකරණයට පවරා ඇති අතර එකී නඩු විභාගයකදී පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන සහතිකය ඔප්පු කිරීමකින් තොරවම අභියාචනාධිකරණය විසින් පිළිගත යුතු බව පනතේ 12 වන වගන්තියේ දැක්වේ. එසේම මෙවැනි අපහාස නඩුවකදී මණ්ඩලයේ සාමාජිකයන්ව ඔවුන්ගේ කැමැත්තකින් තොරව කැදවිය යුතු නැති බවද දක්වා ඇත. මේ අනුව මණ්ඩලය විසින් අභියාචනාධිකරණයට යොමුකරන සහතිකය අභියෝගයට ලක් කිරීමේ දුෂ්කරතාවයකට මාධ්‍යවේදීන් පත්වේ. එසේම මණ්ඩලයට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට අවස්ථාවක් නොමැති වීම මගින් මෙම තත්වය තවදුරටත් උග්‍රකරයි.
  • පුවත්පත් සදහා ආචාර්ධර්ම සංග්‍රහය නියම කිරීමේදී කොමිසම විසින් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අදහස් නොවිමසීම
    පනතේ 10(2) වගන්තිය යටතේ කොමිසන් සභාවේ කාර්යයක් ලෙස ආචාරධර්ම සංග්‍රහයක් නියම කිරීමේ බලතල පවතී. නමුත් මාධ්‍ය ආචාරධර්ම නියම කිරීමේදී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කිසිදු අදහස් විමසීමකින් තොරව එය සිදු කිරීමේ බලතල මණ්ඩලයට පවතී. එහෙයින් එය මාධ්‍ය ක්‍ෂේත්‍රයෙන් පිටත සිට සිදුකරන මාධ්‍ය නියාමනයක් බව පෙනී යයි.
  • ලඝු නඩු විභාගයක් මගින් සිරදඩුවම් ලැබිය හැකි වැරැදි හදුන්වාදීම
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතේ 15 වන වගන්තිය මගින් සාපරාධි පළ කිරීම් ලෙස වැරැදි කිහිපයක් හදුන්වාදී ඇති අතර මෙම වැරදි සදහා රුපියල් පන්දහසක දඩයක් සහ වසර දෙකක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයකට සිරදඩුවම් ලබාදිය හැකි බව දක්වා තිබේ. නියාමන පනතක් මගින් මාධ්‍යවේදීන්ට සිරදඩුවම් ලබාදෙන වැරදි හදුන්වාදීම් සුදුසු නොවේ. මෙහි වඩාත්ම බරපතල තත්ත්වය වන්නේ පනතේ 31 වගන්තිය යටතේ වැරදි සදහා මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නඩු විභාග කළ යුත්තේ ලඝු කාර්යය පටිපාටිය අනුව බවයි. ස්වාධීන නොවන ආයතනයක් සිදුකරනු ලබන පැමිණිල්ල මත ලඝු කාර්යය පටිපාටිය මගින් නඩු විභාග කිරීම මාධ්‍යවේදීන්ට සිදුවන විශාල අසාධාරණයකි.

පුවත්පත් මණ්ඩලය සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු ගැන අදහස් නොදක්වන බව තම ලිපියෙන් ප්‍රකාශ කර ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉහත කී හානිකර නීතිමය ප්‍රතිපාදන සහිත පුවත්පත් මණ්ඩල පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත.