2016 න් පසු රාජ්‍ය සේවයට බදවාගත් නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප අහිමිද?

2016 න් පසු රාජ්‍ය සේවයට බදවාගත් නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප අහිමිද?

2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් අයිතිය පසුගිය රනිල් මෛත‍්‍රි ආණ්ඩුව විසින් අහිමි කර ඇත. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එය බීරි අලින්ට වීනා වාදනය කරනවා වැනි කාරණයක් බවට පත්විය.

කෙසේ නමුත් පැවැති ආණ්ඩුවේ දුර්වලතා හමුවේ එම පක්ෂ සහ නායකයන් අන්ත පරාජයක් ලැබීම සහ රාජ්‍ය සේවකයා එම ක‍්‍රියාකලාපය හෙලා දැකීම පැවැති මැතිවරණයේ පෙනෙන්නට තිබූ ලක්ෂණයකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශිෂ්ඨ ජයග‍්‍රහනයෙන් පසු පැවැත්වීමට යෝජිත මහ මැතිවරණයට මාස කිහිපයකට පෙර අප සංගමයේ මූලිකත්වයෙන් රාජ්‍ය අංශ වෘත්තීය සමිති එකතුවක් ලෙස වෘත්තීය සමිති 30 කට ආසන්න ආසන්න සංඛ්‍යාවක් වර්තමාන අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී රාජ්‍ය සේවයේ ගැටළු පිළිබදවත් 2016 අහිමිකල විශ‍්‍රාම වැටුප් අයිතිය සම්බන්ධවත් කතිකා කල අතර එතුමා වෘත්තීය සමිති වලට පොරොන්දු වූයේ බලයට පැමිණි පසු අනිවාර්යෙන්ම මෙම විශ‍්‍රාම වැටුප් අයිතිය ලබා දෙන බවයි. එහෙත් අණ්ඩුව පත් වී වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වනතුරු එය කඩවුනු පොරොන්දුවක් බවට පත් වී ඇත.

අතිගරු ජනාධිපතිතුමණි, ගරු අගමැතිතුමණි, රාජ්‍ය පරිපාලන ඇමැතිතුමණි කොවිඞ් 19 වසංගතය රටතුල ව්‍යාප්ත වෙද්දී රට වසා තිබූ කාල සීමාවේදී සහ ඊට පසු කාල සීමාවේදී රාජ්‍ය නිලධාරියා ඉටු කල සේවාව ඉතා ප‍්‍රසංශනීය බව ඔබතුමාලා පිළිගන්නවා ඇති. ඒවගේම රටක රාජ්‍ය සේවයේ ඇති වටිනාකම තහවුරු වූ අවස්ථාවක් ලෙසද මෙය හැදින්විය හැක. එනිසා රාජ්‍ය සේවකයා රැකගැනීම රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීම ඔබලා සතු යුතුකමකි. එනිසා 2016 අහිමිකල විශ‍්‍රාම වැටුප් අයිතිය යලි ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය